hit counter

2026 පෙබරවාරි මස 17 වන අඟහරුවාදා

2026 පෙබරවාරි 17, ප.ව. 12:23



පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක මහතා විසින් අද (17) දින පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ඇතැම් පුද්ගලික මාධ්‍යවේදීන්ට වසර ගණනාවක් තිස්සේ ඔවුන්ට ලැබිය යුතු නිසි වැටුප් නොලැබීමේ ගැටලුවක් සහ පුද්ගලික මාධ්‍ය ආයතන වසා දැමීමේ ගැටලුවක් ඇති බව‍යි.

ඒ අනුව රජයක් ලෙස පුද්ගලික මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගය කුමක්ද යන්න ඔහු විමසා සිටියා.

එයට පිළිතුරු ලෙස ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය සඳහන් කළේ,

“පෞද්ගලික මාධ්‍ය ආයතන ගැන අපිට විවිධ පැමිණිලි ලැබෙනවා ජනමාධ්‍යවේදීන්ගෙන් සහ වෘත්තිකයින්ගෙන්. වසා දැමූවා කියන කතාවක් ඇත්ත. විශේෂයෙන් වැඩ කරන කෑලි ගණනට ගෙවීම් සිදුකරන නිසා ඔවුන්ට EPF, ETF වැනි සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ නොලැබීමත්, ඒවගේම කරනු ලබන සේවයට හරියට ගෙවන්නේ නෑ කියන පැමිණිල්ලත් එනවා. නමුත් පෞද්ගලික මාධ්‍ය ආයතන ක්‍රියාත්මක වෙන්නේ පෞද්ගලික සමාගම් ලෙස. ඔවුන්ගේ වැටුප් ප්‍රශ්න හෝ රැකියා ප්‍රශ්න සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයට කරන්න පුළුවන් බලපෑම අඩුයි. මොකද ඒවා සමාගම් පනත යටතේ ක්‍රියාත්මක වෙන්නේ, කම්කරු නීතියෙන් තමයි ඔවුන් පාලනය වෙන්නේ. එනිසා ඔවුන් යා යුත්තේ කම්කරු නීතිය යටතේ. අපි ජනමාධ්‍යවේදීන්ට කරන ගෞරවයක් ලෙස 2026 ජනවාරි හත්වෙනිදා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් සියලු පෞද්ගලික මාධ්‍ය ආයතන වෙත ලිපියක් නිකුත් කළා තමන්ගේ ආයතනයෙන් සේවය ලබා ගන්නා සියලු ජනමාධ්‍යවේදීන්ට නිසි ලෙස ගෙවීම් කටයුතු කරන්න කියලා. මොකද අධික පැමිණිලි ප්‍රමාණයක් ලැබෙන නිසා. එනිසා රජයක් විදිහට අපි පෞද්ගලික මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ සේවය අගයමින් ඔවුන්ගේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරමින් නිසි පරිදි ගෙවීම් කරන්න කියලා ” 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: