hit counter

2025 මැයි මස 17 වන සෙනසුරාදා

2025 මැයි 18, පෙ.ව. 12:12



පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනැල්ලා පළාත් පාලන නීතිය වෙනස් කරන්න ආණ්ඩුවට හැකියාව තිබෙනවා. නමුත් බය කරලා, ප්‍රජාතන්ත්‍ර විරෝධීව කටයුතු කරන්න ආණ්ඩුවට හැකියාවක් නෑ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.

සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කීවේය.

වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැසීය.

“විපක්ෂය බලය තහවුරු කිරීමට උත්සහ කරන පළාත් පාලන ආයතනවල බලය, මාස තුනක් ඇතුළත කෙසේ හෝ ආණ්ඩුව ලබාගන්නා බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණා. ඒ වගේම පාර්ලිමේන්තුවේ බහුතර බලයක් තිබෙන බවත්, නීති වෙනස් කර හෝ එය සිදුකරන බවටත් හැඟවෙන අදහසක් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණා. ඒ වගේම ජාතික ජනබලවේගයට බලය ලැබෙන්නේ නැති පළාත් පාලන ආයතනවලට මුදල් ලබා නොදෙන බව ජානාධිපතිවරයා පළාත් පාලන මැතිවරණයට පෙර ප්‍රකාශ කළා. එය අනියම් ආකාරයේ ජනතාව බියගැන්වීමක්. කෙසේ නමුත් ජනාධිපතිවරයාගේ බියගැන්වීම්වලට යටත් නොවී විපක්ෂයට වැඩි බලයක් ලබා දෙන්න රටේ ජනතාව කටයුතු කර තිබෙනවා. ලක්ෂ 23කින් ජාතික ජනබලවේගයේ ඡන්ද අඩු කරන්න ජනතාව මෙවර පළාත් පාලන මැතිවරණයේදී කටයුතු කර තිබුණා.

බලයට පත්වෙලා මාස 6ක් තුළ සාමාන්‍යයෙන් ආණ්ඩුවක ජනප්‍රියතාව කඩාගෙන වැටෙන්නේ නෑ. ඒ වගේම ජනතාව විශාල ප්‍රමාණයක් ස්වාධීන කණ්ඩායම්වලට ඡන්දය දෙන්න කටයුතු කරලා තිබුණා. ඒ වගේම ජනතාව විපක්ෂයේ කණ්ඩායම්වලට ඡන්දය දෙන්න කටයුතු කරලා තිබුණා. ඒ නිසා ආණ්ඩුවට වඩා බහුතර සභිකධුර සංඛ්‍යාවක් ලබාගන්න විපක්ෂයේ කණ්ඩායම්වලට හැකියාව ලැබී තිබෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදී බලය ආපසු හරවන්න තමයි ජනාධිපති අනුර දිසානායක උත්සාහ කරන්නේ. ඒ වගේම පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම පිළිබඳව නීතියක් තිබෙනවා. පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට තිබෙන නීතිය ගැන නොදැනද ජනාධිපතිවරයා කතා කරන්නේ. බහුතර සභික සංඛ්‍යාවක් ලබාගත් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න කිසිදු ප්‍රශ්නයක් නෑ.
නමුත් කිසිම කණ්ඩායමක් බහුතර බලයක් ලබා ගත්තේ නැතිනම් අනිවාර්යෙන්ම එම පළාත් පාලන ආයතනයේ සභාපති, උප සභාපති, නගරාධිපති තේරීමට ඡන්දයක් තිබිය යුතුයි. ජනාධිපතිවරයා ඒ ඡන්දය නොතියා ඉන්නද කටයුතු කරන්නේ. අනිවාර්යෙන් ඡන්දයක් තිබිය යුතුයි. එයයි පළාත් පාලන නීතිය. නමුත් ඒ නීතිය වෙනස් කරන්න තමයි ජනාධිපතිවරයා කටයුතු කරන්නේ. පළාත් පාලන සභිකයන්ට ස්වාධීනව තීන්දු තීරණ ගැනීමට තිබෙන හැකියාව ජනාධිපතිවරයාගේ යටපත් කරන්න උත්සාහයක් දරනවා. එය භයානක තත්ත්වයක්.

ජාතික ජනබලවේගයේ පරාජය පිළිගන්න ආණ්ඩුව සුදානම් නෑ. ජාතික ජන බලවේගයේ පරාජයට හේතුව පිළිබඳව විශ්ලේෂණයක් කරන්න ආණ්ඩුව අපොහොසත් වෙලා තිබෙනවා. ආණ්ඩුවට ඡන්ද අඩුවුණේ විපක්ෂය නිසා නෙවෙයි. ඔවුන් ජනතාවට දුන්න පොරොන්දු ඉටු නොකළ නිසයි. ආණ්ඩුවට ජනතා ආකර්ෂණය ගන්න නම් ජනතාවට බොරු නොකිය පොරොන්දු වුණ දේවල් ඉටු කරන්න කටයුතු කළ යුතුයි. ජනතාව බියට පත් කරලා, ජනතා නියෝජිතයන් බියට පත් කරලා ජනතා ආකර්ෂණය ලබා ගන්න බෑ. ජනතා විමුක්ති පෙරමුණේ සම්මේලනයේදී ජනාධිපතිවරයා සිදුකළ කතාව නිසා ආණ්ඩුවේ ඡන්ද තව 10%ක් අඩු වුණා.

ඒ වගේම පළාත් පාලන ආඥා පනතේ තිබෙන නීතිවලට ජනාධිපතිවරයා ඇතුළු සියලු දෙනා යටත් විය යුතුයි. ඒ වගේම ජනාධිපතිවරයා ප්‍රකාශ කළා ඔහු නීතියට යටින් සිටිනවා කියලා. නමුත් දැන් ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය දෙස බැලුවහම පෙනෙන්නේ නීතියට උඩින් ජනාධිපතිවරයා සිටින බවයි. අලුත් පළාත් පාලන නීති සකස් කරන විට එම කමිටුවේ ප්‍රධාන කාර්ය භාරයක් සිදුකළේ අනුර දිසානායක මහත්තයා. පරදින පිරිසට මෙම ඡන්ද ක්‍රමය තුළ වාසියක් තිබෙනවා. ඒ නිසා අනුර දිසානායක විපක්ෂයේ සිටින විට වර්තමාන ක්‍රමය ගෙන එන්න දැඩි උත්සාහයක් ගත්තා.

ආණ්ඩු බලය ගත්තාට පසු පළාත් පාලන මැතිවරණ ක්‍රමය රටට ගැලපෙන්නේ නෑ කියලා අනුර දිසානායක මහත්තයා ප්‍රකාශ කරනවා. පළාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න විපක්ෂය ඉල්ලීම් කරද්දි ආණ්ඩුව විපක්ෂයේ ඉල්ලීම් පිලිබඳව සලකා බැලුවේ නෑ. පළාත් පාලන නීතිය නරක් වුණාට කරන්න දෙයක් නෑ. පළාත් පාලන නීතිය රටේ දැනට ක්‍රියාත්මක වන නීතියක්. රටේ නීතියට අනුව සියලු දෙනාටම කටයුතු කළ යුතුයි. පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනල්ලා පළාත් පාලන නිතිය වෙනස් කරන්න ආණ්ඩුවට හැකියාව තිබෙනවා. නමුත් බය කරලා, ප්‍රජාතන්ත්‍ර විරෝධිව කටයුතු කරන්න ආණ්ඩුව හැකියාවක් නෑ.

කොළඹ නගර සභාව සඳහා නගරාධිපතිවරයෙක් තොරන්න ඡන්දයකට යා යුතුයි. ඡන්දයේදී ජාතික ජන බලවේගය ඉදිරිපත් කරන අපේක්ෂකයා ජය ගත්තොත් ඔහු හෝ ඇය තමයි නගරාධිපති වෙන්නේ. ඡන්දයෙන් විපක්ෂය ඉදිරිපත් කරන්න අපේක්ෂකයා ජය ගත්තොත් විපක්ෂයෙන් තමයි නගරාධිපවරයා තේරී පත් වෙන්නේ. ඡන්දය දිනුවොත් ජාතික ජන බලවේගයට නගරාධිපති ධුරය ලබාගත හැකියි. ඡන්දයක් නැතිව නගරාධිපති ධුරය ලබාගන්න නොහැකියි. ඡන්දයක් නොපවත්වා කටයුතු කිරීම වැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතුවලට විපක්ෂය ඉඩ ලබා දෙන්නේ නෑ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: