hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 10:55



මහ බැංකු අධිපති විසින් රටේ මූල්‍ය තත්ත්වය ගැන මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා යොමු කළ ප්‍රශ්න කිහිපයක් නිසා එහි නොසන්සුන්තාවක් ඇති වූ බව වාර්තා වෙනවා.

ශ්‍රී ලංකාවේ විදේශ සංචිත අමෙරිකානු ඩොලර් මිලියන 20ක් දක්වා පහත වැටී තිබියදී වගකිවයුතු කිසිවෙකු හෝ එය මූල්‍ය බලය පවතින පාර්ලිමේන්තුවට කල් තියා දැනුම් නොදුන්නේ ඇයි ද යන්න එහිදී ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගෙන් විමසා තිබෙනවා.

එම ප්‍රශ්නය හමුවේ නිසි පිළිතුරු නොලද බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළා.

රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ මෙම වැඩසටහන මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පෙරේදා (31) පස්වරුවේ පැවැත්වුණා.

රටේ ආර්ථික තත්ත්වය ගැන පැවසීමට පෙර එම ප්‍රශ්නය සම්බන්ධයෙන් පිළිතුරු ලබා දෙන්නැයි මෙහිදී ඉල්ලා ඇති කිරිඇල්ල මහතා රට බංකොලොත්වී ඇති බව මන්ත්‍රීවරුන් කිසිවෙකුත් කල් තියා දැන නොසිටි බව ද ප්‍රකාශ කර ඇති බවත් එවිට තමා මෙහි පැමිණියේ රටේ ආර්ථික තත්ත්වය ගැන කරුණු පැහැදිලි කිරීමට විනා මරණ පරීක්ෂණ පැවැත්වීමට නොවේ යැයි මහ බැංකු අධිපතිවරයා පවසා ඇති බව ත් එම ආරංචි මාර්ග සඳහන් කළා.

මේ අතර, මෙම වැඩමුළුවට පැමිණ සිටි සමගි ජන බලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා යම් යම් කරුණු කාරණා ගැන අදහස් දක්වමින් සිටි අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරුන් ඔහුට විවිධ දේ කියමින් බාධා කර තිබෙනවා.

මෙහිදී මන්ත්‍රීවරයා “අපි මේ වැදගත් දේවල් කතා කරන්නේ. ඔයාලට ඉතින් අපෙන් වැඩක් නැත්තම් අපි යන්නම්,” යනුවෙන් පවසා එම ස්ථානයෙන් පිටව ගොස් ඇතැයි දැනගන්නට තිබෙනවා.

මෙම වැඩමුළුව අමතා වැඩිදුරටත් අදහස් දක්වා ඇති ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා රටේ ආර්ථිකය ගැන සිතා මැතිවරණ පොරොන්දු දේශපාලනයෙන් බැහැරවීමට කාලය උදාවී ඇතැයි ද ප්‍රකාශ කර තිබේ. සෑම දෙයක් ම අඩු කරමින් සහ සහන ලබා දෙමින් පමණක් රට ඉදිරියට ගෙන යා නොහැකි බව ත් රටේ ආර්ථික තත්ත්වය පිරිහීමට බදු අඩු කිරීම ද ප්‍රධාන සාධකයක් වූ බවත් මහ බැංකු අධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

දෙදහස් එකොළහ වර්ෂයෙන් පසු වාණිජ ණය අධික පොලියට ගැනීම රටේ ආර්ථිකය විශාල අර්බුදයක් කරා ගෙන ගිය අතර භාණ්ඩ ගණනාවක ආනයන සීමා කිරීමෙන් යම් යම් ක්‍ෂේත්‍රවලට ගැටලුකාරී තත්ත්වයන් පැනනැගී ඇති නමුත් රටේ ආර්ථිකය පැත්තෙන් දීර්ඝකාලීනව එය විශාල වාසිසහගත තත්ත්වයක් බව ද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇතැයි වාර්තා වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: