hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 02, ප.ව. 4:46



ශ්‍රී ලංකන් ගුවන් ගමන් ප්‍රමාදයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 06ක පමණ පාඩුවක් සිදුව ඇති බවත් මෙම අවස්ථාවේ සේවකයින් හට කිසිම දීමනාවක් හෝ වැටුප් වැඩි කිරීමක් සිදු කිරීමට නොහැකි බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකන් ගුවන් සේවාවන්හි ප්‍රමාදයන් පිළිබඳ පාලන අධිකාරිය සහ සියළුම වෘත්තීය සමිති නියෝජිතයින් සමග වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යංශයේ අද (02) පැවති සාකච්ඡාවකදීයි.

එහිදී කරුණු දක්වමින් ඉංජිනේරුවන්ගේ වෘත්තීය සමිති නියෝජිතයින් පැවසුවේ ගුවන් යානාවල පැවති තාක්ෂණික දෝෂ හේතුවෙන් ප්‍රමාදයන් සිදු වූ බවයි.

එමෙන්ම අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් ගමන් වාරවල ප්‍රමාදයන් සිදු වූ බව ශ්‍රී ලංකන් ගුවන් සේවා පාරිපාලක අධිකාරිය සඳහන් කළා.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් අදාළ නියෝජිතයින්ගෙන් දීර්ඝ වශයෙන් කරුණු විමසීමෙන් අනතුරුව අමාත්‍යවරයා පැවසුවේ දැනට ගුවන් මෙහෙයුම් සඳහා යානා 21 ක් සහ නියමුවන් 260 දෙනෙකු පමණ සිටින බවත් ඒ අනුව එක් ගුවන් යානයක් සඳහා ගුවන් නියමුවන් 12 දෙනෙකු සේවයේ නිරත වන බවයි.

මේ අනුව එය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල බවත් නියමුවෙකු මසකට පැය 100ක කාලයක් පියාසර කළයුතු අතර ලැබී ඇති වාර්තා අනුව පසුගිය කාලය තුළ පියාසර කර ඇත්තේ පැය 60ක කාලයක් බවද ඔහු මෙහිදි පෙන්වා දුන්නා.

ඒ හේතුවෙන් අවම වශයෙන් පැය 80ක පමණ කාලයක් එක් ගුවන් නියමුවෙකු මසකට පියාසර කළේ නම් මෙවැනි ප්‍රශ්නයක් උද්ගත නොවන බවයි එහිදී කරුණු පෙන්වා දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.