hit counter

2025 මැයි මස 09 වන සිකුරාදා

2023 පෙබරවාරි 24, ප.ව. 2:18



ලංකා විදුලි බල මණ්ඩලයේ ඇති වී තිබෙන ඉංජිනේරුවන්ගේ හිගය මත ඉදිරි කාලයේ දී අඛණ්ඩ විදුලි සැපයුමක් සිදු කිරීමට නොහැකි වනු ඇතැයි විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අනතුරු අඟවනවා.

නොරොච්චෝල බලාගාරය පවත්වාගෙන යාම පිලිබඳවත් මේ වන විට ගැටලුවක් නිර්මාණය වී ඇතැයි ද එම සංගමයේ සම ලේකම් ඉසුරු කස්තුරිරත්න මහතා සඳහන් කළා.

පසුගිය වසරක කාලය තුළ විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් 72ක් රට හැර ගොස් තිබෙන බවත් මෙම ප්‍රමාණයෙන් විසි දෙදෙනකුම නොරොච්චෝල බලාගාරයේ සේවය කළ අය බවත් ඔහු සඳහන් කරනවා.

නොරොච්චෝල බලාගාරය සාමාන්‍ය ලෙස පවත්වාගෙන යාම සඳහා ඉංජිනේරුවන් 123ක් සේවය කළ යුතු නමුත් අද වන විට සේවය කරමින් ඇත්තේ සීයක් පමණක් බවද ඔහු පෙන්වා දෙනවා.

මෙම ඉංජිනේරු හිගය මත ඉදිරියේදී බලාගාරය නවතා දැමීමට පවා සිදුවිය හැකි බවත් එසේ වුවහොත් විදුලි අර්බුදය බරපතළ තත්ත්වයට පත්වනු ඇති බවත් හෙතෙම තවදුරටත් කියා සිටියා.