2026 මාර්තු 07, පෙ.ව. 12:12
නොරොච්චෝල ලක්විජය බලාගාරයට දැනට සපයනු ලබන බාල ගල්අඟුරු හේතුවෙන් ජාතික පද්ධතියට සැපයිය හැකි විදුලි ධාරිතාව විශාල වශයෙන් පහත වැටී ඇති බවත්, ඒ හරහා රජයට දැවැන්ත මූල්‍ය අලාභයක් සිදු වෙමින් පවතින බවත් බලශක්ති විශේෂඥ විධුර රලපනාව මහතා පෙන්වා දෙයි.
මාර්තු 05 දත්තයන්ට අනුව, නොරොච්චෝල බලාගාරයෙන් ජාතික පද්ධතියට එක්ව ඇත්තේ මෙගාවොට් 630ක් පමණක් වන අතර, එය බලාපොරොත්තු වූ ධාරිතාවට වඩා මෙගාවොට් 180ක අඩුවකි. මීට පෙර රුසියාවෙන් ගෙන්වන ලද උසස් තත්ත්වයේ ගල්අඟුරු වෙනුවට දැනට දකුණු අප්‍රිකාවෙන් ගෙන්වනු ලබන ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු භාවිත කිරීම මෙම අර්බුදයට ප්‍රධාන හේතුව වී ඇත.
ලක්විජය බලාගාරයේ 1 සහ 2 ඒකක මෙගාවොට් 300 බැගින් වූ සාමාන්‍ය ධාරිතාව වෙනුවට ක්‍රියාත්මක වන්නේ පිළිවෙළින් මෙගාවොට් 230ක් සහ 233ක් ලෙසිනි. මේ හේතුවෙන් මෙම ඒකක දෙකෙන් පමණක් මෙගාවොට් 77ක පාඩුවක් සිදු වේ.
3 වන ඒකකය ගල්අඟුරු මෝල් අවහිර වීම හේතුවෙන් මෙම ඒකකය ක්‍රියාත්මක වී ඇත්තේ මෙගාවොට් 159ක ඉතා අඩු ධාරිතාවකිනි.
පද්ධතියේ පවතින දෝෂ හේතුවෙන් අළු සහ සල්ෆර් පෙරණ (Ash and sulphur filters) මඟහැර යාමට සිදුව තිබූ බවත්, මේ නිසා දිනක් තුළ පමණක් පියාසර අළු ටොන් 350ක් සහ විශාල වශයෙන් අම්ල වායු (SOx) පරිසරයට මුදා හැරී ඇති බවත් වාර්තා වේ. ඊයේ දිනය වන විට එම පෙරණ යථා තත්ත්වයට පත් කර තිබුණද, සිදුවූ පරිසර හානිය සුළුපටු නොවේ.
ගල්අඟුරු බලාගාරයේ ධාරිතාව අඩුවීම හේතුවෙන් එම හිඩැස පිරවීමට අධික පිරිවැයක් සහිත ඩීසල් සහ දැවී තෙල් බලාගාර (Thermal-Oil) භාවිත කිරීමට සිදුව තිබේ. මාර්තු 05 දින රාත්‍රී 19:45 වන විට තාප විදුලිය මෙගාවොට් 946ක් දක්වා ඉහළ අගයක පවත්වා ගැනීමට සිදුව ඇත්තේ මේ හේතුවෙනි.
අලුතින් පිහිටුවන ලද ලංවිම ජනන සමාගමේ ආදායම එහි ප්‍රකාශිත ධාරිතාව මත පදනම් වන බැවින්, මෙම අකාර්යක්ෂම ක්‍රියාකාරීත්වය හේතුවෙන් එම සමාගම සිය පළමු වසරේම දැවැන්ත පාඩුවකට ලක්වනු ඇති බව රලපනාව මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.
2026 මාර්තු 07, පෙ.ව. 12:20
2026 මාර්තු 07, පෙ.ව. 12:18
2026 මාර්තු 07, පෙ.ව. 12:16
2026 මාර්තු 07, පෙ.ව. 12:15
2026 මාර්තු 07, පෙ.ව. 12:15