hit counter

2025 ජූනි මස 21 වන සෙනසුරාදා

2025 ජූනි 21, ප.ව. 9:49



බදුල්ල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ හතරේ කණුව ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයේ පෙරළී යාමෙන් අද (21) පස්වරුවේ සිදුවූ අනතුර සම්බන්ධව බදුල්ල මහ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැහැදිළි කිරීමක් සිදු කර තිබේ.

වෛද්‍යවරයා පැවසුවේ මෙම ස්ථානයේ අනතුරු බොහෝ ප්‍රමාණයක් සිදුව ඇතැයිද මින් පෙර විශ්වවිද්‍යාල සිසුන් රැගත් බස් රථයක්ද මෙම ස්ථානයේම අනතුරට පත්වූ බවය.

මේ වන විට අනතුරට පත්ව තුවාල ලැබූවන් රෝහල් ගත කර ඇතැයිද පැවසූ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසුවේ දෙදෙනෙක් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයිද ඉන් එක් අයෙකු කුඩා දරුවෙකු වන බවය.

“අද පස්වරුවේ මගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබුණා මහියංගනය පාරේ 4 කණුව ළඟ බස් අනතුරක් වෙලා තියෙනවා රෝගීන් 30ක් වගේ ප්‍රමාණයක් ඉන්නවා සමහරු තාම බස්එක යට ඉන්නවා කියලා. වෙනදා වගේම බදුල්ල හොස්පිටල් එකේ ක්‍රමවේදයක් තියෙනවා ඒ වගේ අවස්ථාවකට මුහුණ දෙන එක. හදිසි ප්‍රතිකාර ඒකක, දැඩිසත්කාර ඒකක, නිර්වින්ද වෛද්‍යවරු ඒ වගේම විශේෂඥ වෛද්‍යවරු ඇතුළු කණ්ඩායම් අපි වහාම එතනට කැඳෙව්වා. එතනදි යට වෙලා හිටපු දෙන්නෙක් මිය ගිහින් තිබුණා. රෝහලට ගෙනාවට පස්සේ තව කෙනෙක් මිය ගියා. 

මේ වගේ අනතුරු වළක්වගන්න ඕනේ මොකද එකම ස්ථානයේ දිගින් දිගටම අනතුරු වෙනවා කියන්නේ එතන යම් කිසි ආකාරයක ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුවට අදාළ බලධාරීන් එකතු වෙලා මොකක් හරි පිළිතුරක් හොයා ගන්න ඕනේ. මොකද පිටින් එන බස් රියදුරන් ඔය මාර්ගය ගැන දැනීමක් නෑ. අපිට දැනගන්න ලැබුණු විදිහට මේක අධික වේගයෙන් ගියා කියලා තමයි කට්ටිය කියන්නේ.  සමහරවිට අධික වේගය වෙන්න ඇති මේකට හේතුව. කොහොම හරි අවසානයේදී තුන් දෙනෙකුට ජීවිතය නැති වුණා තවත් කිහිප දෙනෙකු බරපතළ තුවාල ලැබුවා. දැනට දෙන්නෙක් දැඩි සත්කාර ඒකකයේ ඉන්නවා. දැන් තත්ත්වය සෞඛ්‍ය අංශය පැත්තෙන් පාලනය කරලා තියෙන්නේ. ඒ වගේම ස්තූතිවන්ත වෙන්න ඕනේ ප්‍රදේශවාසීන්ට ඔවුන් වෙනදා වගේම උදව් කළා ගොඩක්. පොලීසියේ, හමුදාවේ රණවිරුවෝ හැමෝම තමන්ගේ රාජකාරිය හරියටම කළා. ඒ නිසා අපිට සිදුවෙන්න ගිය තවත් මරණ කිහිපයක් වළක්වා ගන්න පුළුවන් වුණා.දැඩිසත්කාරයේ ඉන්නේ දෙන්නෙක් එතකින් එක් කෙනෙක් කුඩා දරුවෙක් අනෙක් කෙනා කාන්තාවක්.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: