hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 මැයි 17, ප.ව. 4:45



ආන්දෝලනයට තුඩුදුන් ප්‍රකාශයක් සිදුකළ බවට චෝදනා ලැබූ දේවගැති ජෙරොම් ප්‍රනාන්දු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවා.

ඔහු සඳහන් කළේ, දේවගැති ජෙරොම් ප්‍රනාන්දු යළි දිවයිනට පැමිණි පසු අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් ඇති බවයි.

“සංචාරක තහනමක් තියෙන අවස්ථාවක අධිකරණයේදී එවැනි නියෝගයක් ලබා දී ඇති අවස්ථාවක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනීමේ හැකියාව තියෙනවා.”

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු මුදල් විශුධිකරණයේ යෙදී ඇතැයි ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය කර ගැනීම අපහසු බව ත් ඒ පිළිබඳව තව දුරට ත් විමර්ශනය කළ යුතු බව ත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

ඔහු සඳහන් කළේ, එවැනි තත්ත්වයක් තිබේ නම් ඉදිරියේදී ඒ පිළිබඳව අනාවරණය කර ගත හැකි බවයි.

“පාස්ටර් ජෙරොම් සම්බන්ධව පැමිණිලි කිහිපයක් ලැබිලා තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. පැමිණිලි ලැබුණට පස්සේ තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළේ. ඒ අනුව තමා අධිකරණයෙන් අදාළ සාක්ෂි සටහන් කරගෙන පසුව තමා අධිකරණය නියෝග ලබා ගන්නේ. පාස්ටර් ජෙරොම් පිටත් වෙලා තියෙනවා පසුගිය ඉරිදා දිනයේදී. ඔහු විදේශගත වුණ බවට වාර්තා වෙලා තියෙනවා. නමුත් විදේශ ගමන් තහනම අපි ලබාගන්නේ ඊයේ දිනයේ. පැමිණිලි ආවට පස්සේ තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කරන්නේ. එයින් පසුව තමා අධිකරණයට කරුණු ඉදිරිපත් කළ යුතුයි විදේශ ගමන් තහනමක් ලබා ගන්න. ඒ සඳහා යම් ආකාරයක විමර්ශනයක් පැවැත්විය යුතුයි. එතකොට පැමිණිලි ලැබිලා ඒ සඳහා යම් කාලයක් අවශ්‍යයි. ඒ කාලය තුළ තමා අධිකරණයට තොරතුරු ඉදිරිපත් කරලා, සාක්ෂි ඉදිරිපත් කරලා මේ තහනම ලබාගන්නේ.”

යම් හෙයකින් දේවගැති ජෙරොම් ප්‍රනාන්දු නැවත නොපැමිණියොහොත් හෝ වෙනත් රටකට පිටව ගියහොත් ජාත්‍යන්තර පොලිසිය හරහා හෝ ජාත්‍යන්තරව නීතිරීති මාලාව තුළ කටයුතු කිරීමේ හැකියාව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරට ත් පැවසුවා.

මේ අතර, දිවයිනෙන් බැහැරව සිටින තමන් එළඹෙන ඉරිදා දිවයිනට පැමි‍ණෙන බවට දේවගැති ජෙරොම් ප්‍රනාන්දු සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් යොදා තිබෙනවා.