hit counter

2025 මැයි මස 20 වන අඟහරුවාදා

2023 මැයි 09, පෙ.ව. 9:51



බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සිටිමින් රාත්‍රි කාලයේ අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළුවී එම බන්ධනාගාරයේ රඳවා සිටි දමිළ ජාතික රැඳවියකු දෙසට ගිනි අවියක් එල්ල කොට සාපරාධී බියවැද්දීමක් කර තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් එවින්ද රත්වත්තේට සැප්තැම්බර් මස 14 දින අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය නියෝග කළා.

මෙහිදී කොළඹ අපරාධ කොට්ඨාසය අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ 2021 වසරේ සැප්තැම්බර් මස 12 වැනි දින හෝ ඊට ආසන්න දිනයක සැකකරු (බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් එවින්ද රත්වත්තේ) අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එම බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියකු වන පුබාරසිංහන් සූරියපාලන් යන අය දෙසට ගිනි අවියක් එල්ල කර වෙඩි තබා මරා දැමීමට හැකි බව පවසමින් සාපරාධී බියවැද්දීමක් සිදු කර තර්ජනය කර වරදක් සිදු කර ඇති බවට ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 183 වගන්තිය ප්‍රකාරව ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වන බවට නීතිපතිවරයා දැනුම්දී ඇති බවයි.

ඒ අනුව නීතිපතිවරයාගේ උපදෙස් ප්‍රකාරව සැකකරුට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා පත්‍රයක් ගොනු කරන බවද කොළඹ අපරාධ කොට්ඨාසයට තවදුරටත් අධිකරණයට සැල කර සිටියා.

කොළඹ අපරාධ කොට්ඨාසයේ මෙම කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරයා ලබන සැප්තැම්බර් මස 14 වැනි දින අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සැකකරුට නියෝග කළා.

අනුරාධපුර බන්ධනාගාරයේ රාජකාරියෙහි යොදවා සිටි බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් ඇතුළු 14 දෙනකු මෙම නඩුවේ සාක්ෂිකරුවෝ ලෙස නම් කර සිටිනවා.