hit counter

2025 මාර්තු මස 21 වන සිකුරාදා

2025 මාර්තු 21, පෙ.ව. 12:05



සංවර්ධනය වන රටවල් අතර සැලසුමක් නොමැතිව ඉබාගතේ යන රට ලංකාව බවත්, මෙම රජය හෝ පස් අවුරුදු සැලැස්මක් අනුව මෙවර අයවැය ඉදිරිපත් කරනු ඇතැයි බලා සිටියද, එවැන්නක් පෙනෙන්නට නැති බවත්, කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ පැවැසීය.

වරින්වර වෙනස් වන ආර්ථික ප්‍රතිපත්ති තුළින් බැහැරව ජාතික ප්‍රතිපත්ති මත ඉදිරියට යෑමේ වැදගත්කම සහ 2025 වසරේ චීන ජාතික සැසිවාර දෙක පිළිබඳ අවධානය යොමුකරමින් කොළඹදී පැවැති සම්මන්ත්‍රණයකදී ඔහු එසේ අදහස් දැක්වීය.

‘සැලසුම් සහගත ආර්ථික හා සමාජීය වැඩපිළිවෙළක වැදගත්කම’ යන මැයෙන් චීන මාධ්‍ය සමූහ​යේ සිංහල සේවය මගින් මෙම විද්වත් කතිකාව සංවිධානය කර තිබිණි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවැසීය.

‘මේ දක්වා චීනය ආ ගමන්මග ගත්තම අලුත් ආර්ථික ආකෘතියක් ගැන හිතන්න සංවර්ධනය වෙමින් පවතින රටවලට ඉඩ ලබා දී තිබෙනවා. එහිදී වෙළෙඳපොළ හා රජය යන අංශ දෙකේ සංකලනයකින් යුතුව ආර්ථික වර්ධනය ඇතිකරගත හැකියි කියන’ මූලික දැක්ම චීනය ලොවට ලබාදී තිබෙනවා.

ඒ වගේම චීන ජාතික මහජන කොන්ග්‍රසය වෙත චීන රජය පසුගියදා ඉදිරිපත් කළ රාජ්‍ය කාර්යය වාර්තාව ලොව අවධානයට ලක්ව තිබෙනවා. ඉන් 2024 වසරේ චීන ආර්ථික සංවර්ධන ඉලක්ක හා මාර්ග සිතියම විශේෂයි. චීනය මෙම වසරේ දළ දේශීය නිෂ්පාදනයේ සියයට පහක වර්ධනයක් අපේක්ෂා කරනවා. මේ ඉලක්කයට පිටුපසින් ඇති කතාව තමයි ගෝලීය වෙළෙඳ යාන්ත්‍රණය බරපතළ බිඳ වැටීමකට ලක්වෙමින් පවතිනවා. එවැනි අභියෝගයක් තුළ තමයි චීනය මෙම ආර්ථික වර්ධනය ඉලක්කය ලබාදී තිබෙන්නේ. ඒ තුළ චීනය උත්සහ කරනවා බටහිර ප්‍රමුඛ ඇමරිකානු කලාපය තුළ වෙළෙඳමට අදාළ බාධා මතුවූවත් චීනය තවදුරටත් ගෝලීය වෙළෙඳ ස්ථායිතාවයට අදාළව ආයෝජන පුළුල් කිරීමට පෙනී සිටිනවාය කියන කාරණය සංවර්ධනය වෙමින් පවතින රටවලට ලබාදෙන්න.

ඉස්සරනම් කිව්වේ ඇමරිකාවට කිවිසුමක් ගියත් සංවර්ධනය වෙමින් පවතින රටවලට නිව්​මෝනියාව හැදෙනවා කියලයි. අද වෙනකොට ඒ තත්ත්වයට නොයා බේරා​ගෙන මෙවැනි ඉහළ ආර්ථිකය වර්ධනයක් අපේක්ෂා කරන පසුබිමක් තිබෙනවා. ඒ වගේම අද චීනය නම්‍යශීලී ආකාරයට තමන්ගේ ප්‍රතිපත්ති වෙනස් කිරීමට යොමුව තිබෙනවා. අපි ගත්තොත් අපි එල්ලිලා ඉන්නවා විවිධ ප්‍රතිපත්තිවල. මේවා දේශීය වෙන්න ඕන. මේක රජයේ අයිතිය තබාගත යුතුයි කියලා. ඒත් මේ කිසිවක් තේරුමක් නොමැති බව චීනයේ සැලසුම් මගින් පෙනෙනවා. ඔවුන් ගෝලීය අභියෝග ජය ගැනීමට අපේක්ෂා කරන්නේ.

ලංකාවේ තිබෙන බරපතළම ගැටලුවක් තමයි 1950, 60 ප්‍රතිපත්ති ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීම තමයි ප්‍රධානම සංවර්ධන මග කියලා හිතන පිරිසක් තවම ඉන්නවා. ඒ අනුව කිසිම ප්‍රතිපත්තියක්, වැඩසටහනක් ප්‍රතිසංස්කරණවලට යොමුකරන්න අකැමැතියි. මේ වෙනස්වන ලෝකයේ විශේෂයෙන් ඇමරිකාවෙන් එල්ලවන අභියෝග ජයගන්න. ඊට අනුගතව වෙනස්වීම තමයි චීනයේ ප්‍රධාන ක්‍රමවේදය. ඇමරිකාව ලෝකයට වහද්දී, චීනය ලෝකයට දුරටත් විවෘත වීම මගිනුයි එම අභියෝගය ජයගන්න බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට චීනය දුප්පත්කමින් මිලියන අටසීයක් මුදාගත්තේ, සහනාධාර බෙදලා නෙමෙයි. චීනය එය ක​ළේ ආර්ථික වර්ධනය ග්‍රාමීය ප්‍ර​දේශවලට රැගෙන ගිහිනුයි. ආර්ථික වර්ධනය තුළිනුයි දුප්පත්කම අඩුවෙන්න ඕන. එසේ නොමැතිව සහනාධාර බෙදාදීම මගින් නොවෙයි. එහිදී ඔවුන් කළේ ග්‍රාමීය ප්‍රදේශවල යටිතල පහසුකම් නංවමින්, එනම් තාක්ෂණික වෙනස්කම් ඉහළ නැංවීමය. ඉස්සර නම් පාරවල්, ගමනාගමනය. ඒත් අද ප්‍රධානම දේ ටෙලි කොමිනිකේෂන්. ලංකාව වගේම දියුණුවන බොහෝ රටවල තියෙන ප්‍රශ්නයක් තමයි මෙම ගැටලුව.

මේ වෙනකොට චීනයේ 14 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක වෙන්නේ. ඒත් පුදුමයට කරුණ නම් ලංකාව තමයි මේ කලාප තුළත්, සංවර්ධනය වන රටවල් අතරත් සැලැසුමක් නැතිව ඉබාගාතේ යන තත්ත්වයක් තියෙන රට. මෙය බරපතළ තත්ත්වයක්. අපි මෙම රජය යටතේ හෝ බලාපොරොත්තු වුණා පස් අවුරුදු සැලැස්මක් තුළ මෙම අයවැය ඉදිරිපත් වේවි කියලා. ඒත් එහෙම දෙයක් පෙනෙන්නට නැහැ. ඒ අනුව එවැනි සැලසුමක අවශ්‍යතාවක් තිබෙනවා. ඒ පිළිබඳව ලංකාවේ පාලකයන්ගේ ඇස් ඇරිය යුතු කාලය එළැඹ තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: