hit counter

2025 මාර්තු මස 11 වන අඟහරුවාදා

2023 මාර්තු 01, ප.ව. 12:30



උපයන විට ගෙවන බදු සංශෝධන පනත ඇතුළු කාරණා රැසකට එරෙහිව වෘත්තීය සමිති හා බහුජන සංවිධාන ඒකාබද්ධව අද (01) රට පුරා වැඩ වර්ජන සහ උද්ඝෝෂණ පැවැත්වීමට පියවර ගෙන තිබෙනවා.

ජීවන වියදම ඉහළ යාම, විදුලි බිල හා ණය පොලී වාරික ඉහළ දැමීම, ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස මැතිවරණය කල් දැමීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කොට ගනිමින් සෞඛ්‍ය, තෙල්, වරාය, විදුලිය, ජල යන ක්‍ෂේත්‍රවල වෘත්තීය සමිති 40කට වැඩි සංඛ්‍යාවක් මේ වැඩ වර්ජන ක්‍රියාමාර්ගයේ නිරත වීමට තීරණය කොට තිබෙනවා.

දීප ව්‍යාප්තව පවත්වන්නට යෙදුණු වැඩ වර්ජනය සහ කළු ඇඳුම් ඇද සේවාවන්වල නිරතවීමේ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දඹුල්ල ගලේවෙල සීගිරිය නවුල ආදී ප්‍රදේශ වල රෝහල්, බැංකු ,පාසල්වල, ක්‍රියාත්මක වුණා.

දඹුල්ල ප්‍රදේශයේ පාසල් බොහොමයක් ගුරුවරුන් කළු පැහැති ඇඳුම් ඇඳගෙන සේවා සඳහා වාර්තා කොට තිබුණා.

ඇතැම් ගුරුවරු සාමාන්‍ය පරිදි සේවා වලට වාර්තා කොට තිබෙන බව විදුහල්පතිවරු පැවසුවා.

වීර මොහාන් ජයමහ විදුහල, ඉනාමලූව විජය විමලරත්න විදුහල, දඹුල්ල ජාතික පාසල සහ අනෙකුත් පාසල් බොහොමයක ගුරුවරුන් කළු පැහැ ඇඳුම් ඇඳගෙන පාසල් දරුවන්ට ඉගැන්වීම් කරන අයුරු දැක ගැනීමට හැකි වූ බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

නගරයෙහි බැංකු පද්ධති සම්පූර්ණයෙන්ම වසා දමා වැඩ වර්ජනයට එක්ව සිටි බවද වාර්තා වුණා.

මේ හේතුව නිසා ගනුදෙනුකරුවන් බොහෝ දෙනෙකු නැවත ආපසු හැරී යන අයුරුත් ඇතැම් පිරිස් පවතින රජයට දැඩි   දෝෂාරෝපණය ලක්කරමින් තවත් පිරිසක්ව ර්ජන වලට තම අප්‍රසාදය පළ කරමින් පිටව යන්නට වූ බව අප වාර්තාකරු සඳහන් කළා.

දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහලේ බාහිර අංශය, සායනික අංශ සියල්ල වැඩ වර්ජනය නිසා ප්‍රතිකාර කිරීම් නැවති හදිසි ප්‍රතිකාර පමණක් රෝහලේ ක්‍රියාත්මක කර තිබෙනවා.

ප්‍රතිකාර ගැනීම සඳහා සහ සායන වලට පැමිණි රෝගීන් මේ හේතු නිසා දැඩි අපහසුතාවයකට පත්ව සිටින අයුරු දැක ගැනීමට හැකි වුණා.

රෝගීන් බහුතරයක් කියා සිටියේ පාලකයන් නිසා ජනතාව දැඩි පීඩනයකට පත් වෙමින් තිබෙන බවයි.

තවත් පිරිසක් කියා සිටියේ  වැඩවර්ජනයක රාජ්‍ය සේවකයන්ට මාසික වැටුප් ලැබෙන බවයි.

කෙසේ වෙතත් ජනතාවට අතීතයේ සිට  සිදුවන්නේ දැඩි දුක්මුසු තත්ත්වයක් බව රෝගීන් පවසා සිටියා.

මේ අතර රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්ති සහ රජයේ අත්තනෝමතික ක්‍රියාවන්ට එරෙහිව රජයට විරෝධය පල කරමින් වතුකරයේ ප්‍රධාන නගරවල පිහිටි රාජ්‍ය සහ පෞද්ගලික බැංකු ශාඛා කිහිපයක් (01) දින වසා දමා ඇති ආකාරයක් දැක ගැනීමට හැකි වූ බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට සමගාමිව හැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ නිලධාරින් සහ සේවකයින්ද ලෙඩ නිවාඩු වාර්තා කිරිම නිසා පාරිභෝගික සේවා මධ්‍යස්ථානයද වසා දමා තිබු බවද වාර්තා වුනා.

එමෙන්ම රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව දියත් කර ඇති සංකේත වැඩ වර්ජනය සාර්ථක බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය පවසනවා.

එහි සභාපති නිරෝෂන් ගොරකාන මහතා කියා සිටියේ මෙම වර්ජනය හෙට (02) උදෑසන 7ට අවසන් කරන බවයි.

මේ සම්බන්ධයෙන් අප වරාය අධිකාරියේ සභාපති කීත් බර්නාඩ් මහතාගෙන් ද විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ සුළු ප්‍රමාදයන් පැවතියත් වරායේ දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවයි.

මේ අතර රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව විරෝධය දක්වමින් අද දිනයේ පවත්වන වෘත්තීය අරගලය වෙනුවෙන් ලංකා හා මහජන බැංකුද එක්ව තිබෙනවා.

එම බැංකුවල සභාපතිවරුන් ඊයේ පැවැති සාකච්ඡාවකදී සඳහන් කළේ වෘත්තීය අරගලය වෙනුවෙන් ලංකා හා මහජන බැංකු එක්නොවන බවත් සාමාන්‍ය පරිදි සේවා කටයුතු පවත්වාගෙන යන බවයි.

දඹුල්ල – කාංචන කුමාර ආරියදාස

හැටන් – රන්ජිත් රාජපක්ෂ