hit counter

2024 ජූනි මස 17 වන සඳුදා

2024 ජනවාරි 14, පෙ.ව. 12:04



ශ්‍රී ලංකා මහ බැංකුව “Lanka Pay” පද්ධතියේ සිට Central Bank Digital Currencies (CBDCs) දක්වා ගමන් කිරීමේ ක්‍රියාවලිය මේ වන විට ක්‍රියාත්මක කරගෙන යන බවත්, මේ වසර අවසානයේ එහි අවසාන අදියරයට පැමිණෙන බවත් ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.

මූල්‍ය වෙළෙඳපොළ සඳහා විද්‍යුත් මුදල් ක්‍රමයක් හඳුන්වා දීම හා බ්ලොක්චේන් තාක්ෂණය භාවිත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතිත්වයෙන් ක්‍රම සහ විධි කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මෙම තොරතුරු අනාවරණය වුණා.

මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය. ශ්‍රී ලංකා මහ බැංකුව, නීතිපති දෙපාර්තමේන්තුව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය යන ආයතනවල නියෝජිතයින් සහ මෙම ක්ෂේත්‍රයට සම්බන්ධ විද්වතුන් මෙම සාකච්ඡාව සඳහා කැඳවා තිබිණ.

මූල්‍ය ගනුදෙනු සම්බන්ධ ලේඛනයක් (financial registry) නොමැති වීම නිසා රටේ 45%ක පමණ නියාමනය නොකළ වෙළඳපොලක් පවතින බවත්, එය නියාමනය සඳහා ඩිජිටල් මුදල් ඒකකයක් සහ ගනුදෙනු කිරීමට ඉලෙක්ට්‍රොනික ගෙවීම් වේදිකාවක් හඳුන්වා දීම සහ ඒ සඳහා බ්ලොක්චේන් තාක්ෂණය භාවිතා කිරීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝව සාකච්ඡා කිරීම සිදු වුණා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජිතයන් විසින් බ්ලොක්චේන්, ක්‍රිප්ටෝඇසෙට්ස් සහ මහබැංකු ඩිජිටල් මුදල් ඒකක සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද කරුණු සම්බන්ධයෙන් කාරක සභාවේ සභාපතිවරයා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ බ්ලොක්චේන් තාක්ෂණය ශ්‍රී ලංකා රජයේ ප්‍රධාන ආදායම් එකතු කිරීමේ ආයතන වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතනවල කටයුතු සඳහා යොදාගත හැකි ද, එසේ යොදාගත හැක්කේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් මහ බැංකුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව අවධානය යොමු කළ යුතු බවයි.

ඊට පිළිතුරු දෙමින් මහ බැංකු නිලධාරීන් සඳහන් කළේ මූලික වශයෙන් එසේ සිදු කිරීමේ හැකියාවක් පවතින බවත් දැනටමත් ශ්‍රී ලංකා මහ බැංකුව පුද්ගලයන් හඳුනාගැනීම සම්බන්ධ සොයා බැලීම් සඳහා බ්ලොක්චේන් තාක්ෂණය භාවිත කරන බවත් ය. එසේම සෘජුවම බ්ලොක්චේන් තාක්ෂණය කරා ගමන් කිරිමේදී වැයවන පිරිවැය අධික වන බැවින් ක්‍රම ක්‍රමයෙන් එම ඉලක්කයට ළඟා වීමේ හැකියාවක් පවතින බව ද, මහ බැංකුව නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් විසින් මෙහිදී සඳහන් කරන ලදී. එම ඉලක්කය සපුරාගැනීම සඳහා වැඩි වැඩියෙන් ඩිජිටල් බැංකුකරණය හරහා ඉලෙක්ට්‍රොනික ගනුදෙනු සිදු කිරීමට පාරිභෝගිකයා පෙළඹවීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී කමිටුවේ පෙන්වා දෙන ලදි.

එසේම ඩිජිටල් බැංකුකරණය සඳහා ශ්‍රී ලංකාවේ නීතිමය අවසරය ඇති නමුත්, සම්පූර්ණයෙන්ම ඩිජිටල් බැංකුකරණය සඳහා දැනට කිසිදු බැංකුවක් ඉල්ලීම් සිදු කොට නොමැති බව ද, මෙහිදී මහ බැංකු නිලධාරීහු පැවසූහ. තවද ඉන්ධන සඳහා “QR Code” ක්‍රමවේදය භාවිතා කළ ද, එම ක්‍රමය අහෝසි නොකොට මූල්‍යමය ගනුදෙනු සඳහා ද, යොදා ගන්නා ලෙස මහ බැංකුව විසින් උපදෙස් ලබා නොදීම බරපතල අඩුපාඩුවක් බව මෙහිදී සභාපතිවරයා පෙන්වා දුන්නේය. ප්‍රවාහනය, විදුලිබලය වැනි ශ්‍රී ලංකා ආර්ථිකයේ වැදගත් ක්ෂේත්‍ර සඳහා ද, මෙම ”QR Code” ක්‍රමවේදය භාවිතයට ගැනීමේ වැදගත්කම ඔහු විසින් අවධාරණය කරන ලදී.

තවද ඉන්දියාව සහ බංග්ලාදේශය ඉලෙක්ට්‍රොනික ගනුදෙනු හා ඩිජිටල් කරන්සි භාවිතයට අනුවර්තනය වීමේදී ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය අධ්‍යයනය කොට එහිදී ඇති වූ අභියෝග හා විසඳුම් සහ එහි පසුබිම සම්බන්ධයෙන් ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව වෙත සති 2 ක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පාඨලී චම්පික රණවක මහතා විසින් මහ බැංකුවට උපදෙස් ලබා දෙන ලදී.

මෙම කාරක සභා රැස්වීම සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, ගරු සිසිර ජයකොඩි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක් අබේසිංහ, මහාචාර්ය චරිත හේරත් සහ ඉෂාක් රහුමාන් යන මහත්වරු එක්ව සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: