hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 17, පෙ.ව. 11:40



ගම්පහ දිස්ත්‍රික්කයේ නැවත ගංවතුර තත්ත්වයක් ඇති නොවීමට සියලුම ක්‍රියාමාර්ග ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම පලාත්පාලන ආයතන ප්‍රධානීන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දී තිබෙනවා.

ඒ අනුව ගංවතුර තත්ත්වය පහව ගිය වහාම දිස්ත්‍රික්කයේ සියලුම ඇල මාර්ග, ගංඟාවන් ඇතුළු ජලබස්නා මාර්ග පිරිසිදු කිරීමට කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළයුතු බවත් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කරවා ගැනීමට රජය සමඟ තමන් සාකච්ඡා කරන බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා.

අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ගම්පහ දිස්ත්‍රික් ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් ඊයේ (16) පැවති සාකච්ඡාවේදි මේ බව ප්‍රකාශ වී තිබුණා.

ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ අජිත් නිශාන්ත මහතා සඳහන් කළේ පසුගිය දිනවල ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 11,158 කට අයත් පුද්ගලයන් 46,797 දෙනෙකු ආපදාවට ලක්ව සිටින බවයි.

මේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කයේ ගංවතුර තත්ත්වය පහව යමින් තිබෙන අතර ඒ හේතුවෙන් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර සිටින පිරිස් ද සිය වාසස්ථාන කරා යොමුවෙමින් සිටින බවද ඔහු සඳහන් කළා.

ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂ ඉන්දික වන්නිනායක මහතා සඳහන් කළේ අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් පැතිරීයන රෝගී තත්ත්වයන් පාලනය කිරීමට ගතයුතු පියවර සම්බන්ධයෙන් සියලුම සෞඛ්‍ය නිළධාරින් දැනුවත් කර ඇති බවයි.

එවැනි හදිසි අවස්ථාවන් සම්බන්ධයෙන්  033-2234904 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙසද ඔහු ඉල්ලීමක් කළා.

මේ අතර ගංවතුර තත්ත්වය පහවයෑමත් සමඟ පැතිරයන ඩෙංගු රෝගය ඇතුළු වසංගත රෝගී තත්ත්වයන් පාලනය කිරීමට ගතයුතු පියවර සම්බන්ධයෙන් දැනටමත් සැලසුම් සකස්කර තිබෙන බවද ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂ ඉන්දික වන්නිනායක මහතා සඳහන් කළා.

එමෙන්ම ආපදාවන්ට ලක්වූවන්ට සහන සැලසීමේදී QR ක්‍රමයට ඉන්ධන ලබාගැනීම බාධාවක්ව ඇති බව පළාත් පාලන ආයතන ප්‍රධානීහූ මෙහිදී පෙන්වා දී තිබෙනවා.

එහිදී ගම්පහ දිසාපති එස්.සත්‍යානන්ද මහතා සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දෙනු ලැබුවේ අවශ්‍යතාවය අනුව QR ක්‍රමයෙන් බැහැරව ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසයි.

ඒ බව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ප්‍රධානීන්ට ලිඛිතව දැනුම් දෙන ලෙසද දිසාපතිවරයා උපදෙස් දුන්නා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: