hit counter

2025 සැප්‍තැම්‍බර් මස 20 වන සෙනසුරාදා

2025 සැප්‍තැම්‍බර් 20, ප.ව. 3:32



තමන් අත්අඩංගුවට ගැනීම සහ ඊට අදාළ පසුබිම පිළිබඳව කොළඹදී පැවති එක්සත් ජාතික පක්ෂ සංවත්සර සමුළුවේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද කරුණු පැහැදිලි කළේය.

හිටපු ජනාධිපතිවරයා අවධාරණය කළේ, තමන් අත්අඩංගුවට ගැනීමට අදාල වූ තමන්ගේ විදෙස් සංචාරය සම්පූර්ණයෙන්ම නිල සංචාරයක් බවයි.

ඔහු මුලින්ම ගියේ කියුබාවේ හවානා නගරයට බවත් G77 නියෝජනය කරන සංවර්ධන රටවල්වල සමුළුවට සහභාගී වී අප්‍රිකානු නායකයින් කිහිප දෙනෙකු හා කියුබානු නායකයාද මුණගැසුනු බවත් ඔහු පැවසුවේය.

හවානා සිට එක්සත් ජාතීන්ගේ මණ්ඩලය සඳහා ඔහු නිව්යෝර්ක් වෙත ගොස් ලෝක බැංකුවේ සභාපතිවරයා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) අධ්‍යක්ෂ ජනරාල්වරිය සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා යන ප්‍රධානීන් තිදෙනාව හමුවී ශ්‍රී ලංකාවේ ආර්ථිකය හා ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන කිරීම කල බවත් පැවසීය.

නිව්යෝර්ක්හිදී ඉරානයේ හිටපු ජනාධිපතිවරයා ඇතුළු තවත් නායකයන් කිහිප දෙනෙකුද හමුවූ බව ඔහු ප්‍රකාශ කළේය.

ඔහු සඳහන් කළේ, නිව්යෝර්ක්හි සිට කොළඹට පැමිණෙන ගමනේදී ලන්ඩනයේදී එක් රැයක් ගත කළ බවයි.

වර්තමාන ජනාධිපතිවරයාගේ ලේකම්වරයා තමන්ට විරුද්ධව පැමිණිල්ලක් කර ඇති බව දැනගන්නට ලැබුණු බව හිටපු ජනාධිපතිවරයා පැවසීය.

මෙම කරුණු පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වීම, තම නීතිඥවරුන්ගේ උපදෙස් මත සීමා කරන බවත්, ඒවා අධිකරණයේදී ඉදිරිපත් කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.

තමන්ට විරුද්ධව ආණ්ඩුව පවසන මිලියන 16ක් පිළිබඳ චෝදනා ගැන ඔහු අදහස් පල කලේය. තමන්ට එවැනි දේවලින් වැඩක් නැති බවත් තමන් රටට ඩොලර් බිලියන 22ක් උපයා දුන් බවත්, 2022 දී රට භාර ගන්නා විට දළ දේශීය නිෂ්පාදනය (GDP) බිලියන 76.8ක් වූ බවත්, වර්තමාන ජනාධිපතිවරයාට භාර දෙන විට එය බිලියන 98.9ක් වූ බවත් පැහැදිලි කළේය.

තමන් අත්අඩංගුවට ගැනීමේදී තමන් වෙනුවෙන් දේශපාලන මිත්‍රයින් මෙන්ම විරුද්ධවාදීන් පෙනී සිටිය බවත් ඔහු පැවසීය.

මෙම පියවර ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ තර්ජනයක් ලෙස සියලු දෙනාම දුටු බව ඔහු කියා සිටියේය.

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා තමා හමුවීමට පැමිණි බවද, චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සහ ගෝඨාභය රාජපක්ෂ මහතා පවා පණිවිඩ එවා තිබූ බවද ඔහු සඳහන් කළේය.

ඊට අමතරව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, හිටපු අගමැතිවරුන් හා කථානායකවරයා ඇතුළු විශාල පිරිසක් පැමිණි බවද ඔහු ප්‍රකාශ කළේය.

ඔහු අවසාන වශයෙන් අවධාරණය කළේ, මෙම නායකයන් සියලු දෙනාම එකතු වී ඇත්තේ පක්ෂ ගැන කතා කිරීමට නොව, රටේ ව්‍යවස්ථාව රැකගෙන ඒකාධිපතිවාදය පරාජය කිරීම සඳහා බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: