2023 මැයි 21, පෙ.ව. 12:15
මහා විහාර විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා ජපන් රජයේ සහාය ලබා ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා.
ථෙරවාදී බුදුදහම පිළිබද හැදෑරිය හැකි ජාත්‍යන්තර මට්ටමේ විශ්වවිද්‍යාලයක් ලෙස එය ස්ථාපිත කරන බව පැවසූ ජනාධිපතිවරයා ඉදිරියේ දී සිදුකරන තම ජපන් සංචාරයේ දී මේ සඳහා ආධාර ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා කරන බව ද සඳහන් කළා.
මේ සඳහා තායිලන්තය, භූතානය වැනි බෞද්ධ රටවල දායකත්වය ලබා ගැනීම ද අපේක්ෂාවයි ජනාධිපතිවරයා කියා සිටියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ මල්වතු, අස්ගිරි මහා නාහිමිවරුන් ඊයේ (20) දින උදෑසන බැහැදුටු අවස්ථාවේදී ය.
බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනත සංශෝධනය කිරීම සහ ථෙරවාදී භික්ෂු කතිකාවතක් ඇති කිරීමට අදාළ පනත් කෙටුම්පත ජනාධිපතිවරයා විසින් මල්වතු, අස්ගිරි මහා නාහිමිපාණන් වහන්සේලාගේ අනුශාසනාව ලබා ගැනීම සඳහා පිළිගැන්වීම ද එහිදී සිදු කෙරුණා.
පසුගිය පෙබරවාරි 19 වැනිදා මහනුවර ජනාධිපති මන්දිරයේ දී මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් කළ ඉල්ලීම පරිදි මෙම පනත් කෙටුම්පත මාස තුනක් ඇතුළත සකසා නැවත මහනායක හිමිවරුන්ගේ අනුශාසනාව සඳහා පිළිගැන්වීම විශේෂත්වයක්.
ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පත සහ බෞද්ධ ප්‍රකාශන නියාමන පනත විධිමත්ව කඩිනමින් ඇති කිරීමේ අවශ්‍යතාව මහා නායක හිමිවරුන් විසින් මෙහිදී පෙන්වා දුන් අතර ඒ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උපදෙස් දී තිබෙනවා.
ඒ අනුව නිකායන් හතරෙහිම මහානායක ස්වාමීන් වහන්සේලා සමඟ සාකච්ඡා කර අවශ්‍ය සංශෝධන සිදු කිරීමෙන් අනතුරුව එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස ද සඳහන් කළා.
අද උදැසන පළමුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව උන්වහන්සේ සමඟ කෙටි පිළිසඳරක නිරත වී තිබෙනවා.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර මල්වතු මහා නා හිමි ප්රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා ඇතුළු පිරිස වෙත ආශිර්වාද පළකර තිබෙනවා.
මහනුවර නගරයේ යටිතල පහසුකම් සංවර්ධනය කරමින් අති නවීන නගරයක් ලෙස එය සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා මහනුවර මහනගර සැලැස්මට අදාළ සංවර්ධන කටයුතු මේ වසරේදී ආරම්භ කිරීමට කටයුතු කරන බවත්, රටේ සියලුම මග නගර සංවර්ධන සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කර අවසන් කිරීමට සැලසුම් කර ඇති බවත් පවසා තිබුණා.
පාතහේවාහැට සහ කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභා, නගර සභා බවට පත් කිරීමට අපේක්ෂා කරන බවත් එය මහනුවර නගර සංවර්ධන සැළැස්ම යටතේ ක්‍රියාත්මත් කරන බවත් ජනාධිපතිවරය වැඩිදුරටත් මෙහි දී සඳහන් කර තිබෙනවා.
මහනුවර පැරණි බන්ධනාගාරය සහ තැපැල් කාර්යාලයේ ඓතිහාසික වටිනාකම් සුරක්ෂිත කරමින්, සංචාරක ආකර්ශනයට ලක්වන ප්‍රදේශයක් ලෙස සංවර්ධන කිරීම සඳහා වන සැලසුම් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවයි ජනාධිපතිවරයා මෙහි දී කියා සිටියේ.
එමෙන්ම කුරුණෑගල සහ ගලගෙදර දක්වා වන අධිවේගි මාර්ගය කටුගස්තොට දක්වා දීර්ඝ කිරීමට ඇති හැකියාවත්, ඉන් සැළසෙන ප්රතිලාභ පිළිබඳවත් මෙහිදී අවධානය යොමු කර තිබෙනවා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසුවා.
“මහ නගර සැලැස්ම යටතේ මෙම මහනුවර නගරය කඩිනමින් සංවර්ධනය කිරිමට මම බලාපොරොත්තු වෙනවා. ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ සාර්ථක කරගෙන ලබන සැප්තැම්බර් මාසය වන විට රටේ ආර්ථිකය යම් ස්ථාවර මට්ටමකට ගෙන ඒමට හැකි වෙයි කියා මම විශ්වාස කරනවා. ඉන් පසු රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා බොහෝ ප්‍රමාණයක් ආයෝජන අවශ්‍ය වෙනවා. ඒ වගේම සංචාරකයන් වැඩි පිරිසක් මෙරටට ගෙන්වාගත යුතුයි. ත්‍රිකුණාමලය නව නගර සැලස්ම දැන් ක්‍රියාත්මකයි. මහනුවර මහනගර සංවර්ධන සැලැස්ම මේ වසරේ ආරම්භ කිරීමට අප කටයුතු කරනවා. ඉන් පසුව යාපනය මහ නගර සංවර්ධනය සිදු කරනවා.”
මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ . ගමගේ, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මෙම අවස්ථාවට එක්ව සිටියා.
2024 දෙසැම්බර් 23, ප.ව. 5:10
2024 දෙසැම්බර් 23, ප.ව. 4:55
2024 දෙසැම්බර් 23, ප.ව. 4:06
2024 දෙසැම්බර් 23, පෙ.ව. 11:12
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:34