hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 9:25



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නිව්යෝර්ක්හි මෙටා (Meta) සමාගමේ ගෝලීය සම්බන්ධතා අංශයේ සභාපති ශ්‍රීමත් නික් ක්ලෙග් මහතා (Sir Nick Clegg) අතර හමුවක් ඊයේ නිව්යෝර්ක් නුවර දී පවත්වා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

අන්තර්ජාලය ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වෛරී ප්‍රකාශ සහ අසත්‍ය ප්‍රචාර මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති නව ක්‍රියාමාර්ග පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කර ඇති බවයි වාර්තාවන්නේ.

ඒ වෙනුවෙන් ඉදිරියේ දී හඳුන්වාදීමට යෝජිත පනත මගින්, බලපෑමට ලක්වූවන්ට ශ්‍රේෂ්ඨාධිකරණය හරහා ක්‍රියාමාර්ග ගත හැකි බවක් පාර්ලිමේන්තු කාරක සභා සමාලෝචනයේදී මෙම පනතට තවත් සංශෝධන එක් කළ හැකි බවත්ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණ අංශයේ සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ සැලසුම් පිළිබඳ ‍ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සඳහන් කර ඇති බවද එම නිවේදනයේ සඳහන්.

ශ්‍රී ලංකා රජය සහ මෙටා සමාගම අතර කෘත්‍රිම බුද්ධි (AI) ක්ෂේත්‍රයේ හවුල්කාරිත්වයක් ඇති කර ගැනීමේ අවස්ථා සොයා බැලීමටත්, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල සංවර්ධනය කිරීමට මෙටා සමාගම සමග සහයෝගීතා වැඩසටහනක් ඇති කර ගැනීමටත් මෙම සාකච්ඡාවේදී යෝජනා වී තිබෙනවා.

දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා දත්ත මත පදනම් වූ වැඩසටහන් සංවර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් සඳහා කෘත්‍රිම බුද්ධිය ( AI) භාවිත කරන අතරම, අධ්‍යාපනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් මෙරට කෘත්‍රිම බුද්ධි (AI) ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම තම අවධානය යොමු කළ ප්‍රධාන ක්ෂේත්‍ර දෙක බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදි වැඩිදුරටත් සඳහන් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.