hit counter

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා

2025 අප්‍රේල් 24, ප.ව. 12:28



මෙරට ප්‍රසිද්ධ විසිතුරු මසුන් අපනයනකරුවෙකු වන ආනන්ද පතිරණ සහ ඔහුගේ බිරිඳ ඇතුළු ශ්‍රී ලාංකිකයින් තුන්දෙනෙකු, ව්‍යාපාරික කටයුත්තක් සඳහා බංග්ලාදේශය වෙත ගිය අවස්ථාවේදී යම්කිසි පිරිසක් විසින් පැහැරගෙන ගොස්, පසුව ඇමරිකානු ඩොලර් මිලියනයක කප්පමක් ඉල්ලා තිබේ.

මේ පුවත වාර්තා වුණ සැණින් ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා බලධාරීන්, බංග්ලාදේශ බලධාරීන්ගේ සහය ඉල්ලා සිටීමෙන් පසුව කඩිනම් මෙහෙයුමක් මගින් ශ්‍රී ලාංකිකයන් තිදෙනා මුදා ගෙන ඇති බව ඒෂියන් මිරර් වෙත වාර්තා වේ.

මෙම සිදුවීම සිදුවුණේ, අපනයන ව්‍යාපාරය සම්බන්ධව කටයුතු සඳහා ලැබුණ ආරාධනයකින් අනතුරුව පසුගිය දා ඔවුන් බංග්ලාදේශය වෙත ගිය පසුවය.

ඔවුන් එරටට ළඟා වූ පසු පැහැරගෙන කාමරයක සිර කර කර තැබූ බව වාර්තා වන අතර පැහැරගත් පිරිස ඔවුන් මුදාහැරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියනයක කප්පමක් ඉල්ලා සිට ඇත.

මෙම පැහැරගැනීම පිළිබඳ පුවත ශ්‍රී ලංකාවට ළඟා වූ වහාම, විදේශ කටයුතු අමාත්‍යාංශයේ සුනිල් සිල්වා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සම්පත් තුයියකොන්තා සහ ජාතික බුද්ධි අධ්‍යක්ෂ රුවන් වණිගසුරිය ඇතුළු පිරිසක් වහා ක්‍රියාත්මක වී ඒ පිළිබඳ බංග්ලාදේශ බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කර තිබේ.

බංග්ලාදේශයේ ශ්‍රී ලංකා තානාපති ධර්මපාල වීරක්කොඩි මහතා මෙම මෙහෙයුම සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂයෙන් දායක වී ඇත.

අනතුරුව බංග්ලාදේශ පොලීසිය සහ යුද හමුදාව එක්ව අද පෙරවරු 2.30ට පමණ මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින්, ශ්‍රී ලාංකිකයින් තිදෙනා කප්පම්කරුවන්ගේ ග්‍රහණයෙන් මුදාගෙන තිබේ.

දැනට ඔවුන් බංග්ලාදේශ පොලිස් භාරයේ සිටින අතර හෙට (අප්‍රේල් 25) දිවයිනට පැමිණෙනු ඇතැයි වාර්තා වේ.