hit counter

2026 පෙබරවාරි මස 14 වන සෙනසුරාදා

2026 පෙබරවාරි 15, පෙ.ව. 12:20



කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් රජයේ ප්‍රතිපත්තිය යට‍තේ වාරි මහිම අපේ උරුමය වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ අල්ල – මාවිල්ආරු ගොවි ව්‍යාපාරය නැවත ගොඩනැඟීමේ සමාරම්භක අවස්ථාව සේරුවිල මාවිල්ආරු බැම්ම අසලදී සිදුවිය. මෙහිදී අමාත්‍යවරයා මෙලෙස අදහස් ඉදිරිපත් කළේය.

“ආපදාවෙන් ඇති වුණු තත්ත්වය පිළිබඳව අපි පරීක්ෂණ කළා. නිරීක්ෂණ කළා. ඉන් අනතුරුව නිගමනවලට පැමිණියා. අපේ නිගමනය තමයි මේ මාවිල්ආරු අල්ල ව්‍යාපාරය මුළුමනින්ම පරිවර්තනයකට ලක් කිරීම. අද පටන් ගන්න වැඩේට මිලියන 5000ක් අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමා අපට වෙන් කරලා දීලා තියෙනවා. ඒ නිසා අපිට වගකීමක් තියෙනවා මේ මුදල් නිසි පරිදි වේගයෙන් වියදම් කරලා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න.

මේක ලේසි නැහැ. යල කන්නය සඳහා ගොවියන්ට වතුර දෙමින් මේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ යුතුයි. මේ සඳහා මහජන කමිටුවක් අවශ්‍යයි. මේ කටයුතු නිසියාකාරයෙන් වෙනවද බලන්න. අපි මේ කරන්නේ ජන සහභාගීත්ව සංවර්ධනයක්. සහුගිය පාර්ලිමේන්තු ඡන්දෙදි 159ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අපිට ලබා දුන්නා. ලංකාවේ සමානුපාතික ඡන්ද ක්‍රමය ආවට පස්සේ පාර්ලිමේන්තුවට 159ක් එක පක්ෂයකින් කවදාවත් මහජන නියෝජිතයෝ ලබා දීලා නැහැ. මේ තමයි පළවෙනි වතාව. ඉන් රටේ දේශපාලන ස්ථාවර බවක් හදලා තියෙනවා. කිසිම ජගතෙකුට පාර්ලිමේන්තුව හොල්ලන්න බැහැ. වංචාවට දූෂණයට ඇබ්බැහි වෙච්ච කාලකණ්ණි ටිකක් ඉන්නවා මේ රටේ.

එයාලට පාර්ලිමේන්තුව ඇතුළෙත් පිටතත් ඉඩක් නැහැ. පැරදුණු බලවේගවල පිටුපස සිටි කණ්ඩායම් විවිධ උද්ඝෝෂණ කරමින් ජාතිවාදී හැඩයෙන් බොරු ප්‍රචාර කරමින් දේශපාලන අස්ථාවරභාවයක් රටේ හදන්න හදනවා. ඒත් ජනතාව දැන් ඒවාට අහුවෙන්නේ නැහැ. මෙතන හොඳ ජාතික සමගියක් ගොඩනඟන්න පුළුවන් තැනක්. මෙතන සිංහල, දමිළ, මුස්ලිම් ජනතාව සමසමව ජීවත්වන තැනක්. අපි අද පටන්ගන්නේ වාරි ව්‍යාපෘතියක් පමණක් නෙවෙයි. ජාතික සමගියේ වැඩසටහනක්. නැවත මේ රටේ ජාතිවාදයක් ඇති වෙන්න ඉඩ දෙන්න එපා. ජනතාව ජාතිය මත ආගම මත කොටවන කොට එයාලට ජාති භේද නැහැ. එයාලා මහජනයාව හූරගෙන කාලා ජීවත් වෙනවා.

ඒක නවත්වන්න ඕනේ. ලංකාවේ වී මිලදී ගැනීම නතර කරලා තිබුණා. දැන් අපි ඒක පටන් ගත්තා. ගොවියාට සාධාරණ මිලක් දුන්නේ නැහැ. ගොවියෝ මේ රටේ වහ බිව්වා. එහෙම ඉතිහාසයක ගොවිජනතාව දුක් වින්දා. ඒ නිසා ගොවිජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන්න වී සඳහා නිසි මිලක් දීලා තියෙනවා. අපේ කෘෂිකර්මාන්තය බිඳ වැටුණු නිසා නේද අපේ දුප්පත් දෙමව්පියන්ගේ දියණියෝ ගාමන්ට් යන්න පටන් ගත්තේ අම්මලා විදේශ රැකියාවලට යන්න ගත්තේ. මේක නඟා සිටුවන්න නම් ගොවිජන ආර්ථිකයට නවෝදයක් හදන්න ඕනේ.

ඒක තමයි අපේ අරමුණ. තමන් නිෂ්පාදනය කරන දෙයට හොඳ මිලක් ලැබෙන්න ඕනේ. මේ තත්ත්වය ප්‍රතිගාමී බලවේගවලට කඩාකප්පල් කරන්න දෙන්න එපා. අපි සහලින් ස්වයංපෝෂිතයි. හැබැයි හාල් මිල අඩු කරගන්න තව නිෂ්පාදනය වැඩි කරගත යුතුයි. කිරි නිෂ්පාදනය වැඩි කරගන්න වැඩසටහනකට යමින් ඉන්නවා. දැන් එක ටින් මාළු ටින් එකක් පිටරටින් ගේන්නේ නැහැ. එළවළු ගේන්නේ නැහැ පිටින්. මුං ඇට ගේන්නේ නැහැ පිටින්. අපි කහ ගේන්නේ නැහැ. අපට තව ලොකු ප්‍රශ්නයක් තියෙනවා බඩඉරිඟු. බඩඉරිඟු 50%ක් ගේන්නේ පිටින්. ඒකටත් අපි වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. අපේ අරමුණ අල්ල ව්‍යාපාරය නව පරිවර්තනයකට ලක්කිරීම.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වෙනවා එක මිටට – ගොවි බිමට වැඩසටහන. ඒ හරහා වගා කළ හැකි වගා නොකරපු ඉඩම් වගා කරන්න බලාපොරොත්තු වෙනවා. කුඹුරු වැඩි කරන්න අවශ්‍ය නැහැ. කුඹුරුවල අස්වැන්න වැඩි කළ යුතුයි. ඒ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ යාය 500 වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. දැන් අපි බලනවා නාඩු 120ට ගන්න කියද්දි ඊට අඩුවෙන් ගන්න බැරි වෙන්න නීතියක් ගේන්න. එතකොට 120ට අඩුවෙන් ගන්න බැහැ. 120ට වැඩියෙන් ගන්න පුළුවන්. ගොවිජන ජීවිතය හදලා රටේ ආර්ථිකය හැදුවොත් අපේ රටේ ප්‍රශ්නවලින් 80%ක්ම ඉවර වෙනවා. ඒ සඳහා ඔබ අපිට මේ යුතුකම් ටික ඉෂ්ට කරලා දෙන්න. දේශපාලන ස්ථාවරත්වය නැති කරන්න ඉඩදෙන්න එපා. ජාතිවාදයට ඉඩදෙන්න එපා. ලබන 17 වෙනිදාට ගේනවා පනතක්. මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත. මේක සාර්ථක කරගන්න ඔබේ මැදිහත්වීම ලබාදෙන්න. මේ ව්‍යාපෘතිය වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වැඩක් කියලා හිතන්න එපා.”

මෙම අවස්ථාවට එක්වෙමින් ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් විතාරණ මහතා ද අදහස් පළ කළේය.

“පසුගිය දිට්වා සුළි කුණාටුවෙන් මාවිල්ආරු බැම්ම විශාල හානියකට ලක්වෙලා මාස 2යි දවස් 5ක් ගතවෙද්දි එය නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීමේ වැඩසටහනට තමයි අපි මේ සම්බන්ධ වෙන්නේ. අපි අමාත්‍යාංශය විදිහට නිතර නිලධාරීන් සමඟ සම්බන්ධතා පවත්වමින් මේ ව්‍යාපෘතිවල වර්තමාන තත්ත්වය සාකච්ඡා කරමින් යන අවස්ථාවල තමයි මේ බැම්ම ගැන ප්‍රවෘත්තිය එන්නේ. ජනතාවාදී ආණ්ඩුවක් විදිහට මෙය ඉක්මනින් ගොඩනැඟීම තමයි අපේ අරමුණ වුණේ. අපි ඉතිහාසයේ පළවෙනි වතාවට වසර 20කට විතර පස්සේ ගොවියා මූලික කරගෙන එක අමාත්‍යාංශයක් බවට පත්කරද්දි ගොවියාට අවශ්‍ය සියලු පහසුකම් සහිත අමාත්‍යාංශයක් අපි නිර්මාණය කළා.

මාවිල්ආරු බැම්ම පිළිසකර කරන්න අපි සියලු දෙපාර්තමේන්තු මෙතනට එකතු කරලා තියෙනවා. අපි හැමවෙලාවෙම තීන්දු තීරණ ගන්නේ ජනතාවගේ ප්‍රමුඛතාවය අනුව. ජනතාවගේ අවශ්‍යතාවය අනුව. අපි තේරුම් ගත්තා මේ වෙලාවේ රටේ කෘෂිකර්මාන්තයට නව ජීවයක් දෙන්න ඕනේ. ඒ සඳහා ගතයුතු සියලුම තීන්දු තීරණ ආණ්ඩුව ගන්න ඕනේ කියලා කල්පනා කළා. ඒ අනුව ප්‍රමුඛතා ලැයිස්තුවක් හදලා රට පුරා හානි වුණු ව්‍යාපෘති ඉක්මනින් ආරම්භ කරන්න කටයුතු යොදලා තියෙනවා. මේක තමයි ආණ්ඩුවක වගකීම. අපි මීට පෙර හදලා තිබුණේ ප්‍රතිපත්තිමය තීරණ ගන්න ආණ්ඩු නෙවෙයි. ජනතාව සතුටු වෙන්න ඕනේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව, අමාත්‍යාංශයේ නිලධාරීන් මේ තත්ත්වයෙන් ගොඩ එන්න ධෛර්ය සම්පන්නව මැදිහත් වෙලා ඉන්නවා. ගොවියාගේ ප්‍රශ්න ටික අංක එකටම විසඳන්න ආණ්ඩුව සූදානමින් ඉන්නවා.”

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන මහතා, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා මෙන්ම ගොවි සංවිධාන රැසක් සහභාගී විය. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: