hit counter

2025 ජූලි මස 13 වන ඉරිදා

2025 ජූලි 13, පෙ.ව. 12:10



පසුගිය දිනක සජබ ආසන සංවිධායකවරුන් පිරිසක් සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරුන් දස දෙනෙකු පක්ෂ නායක නායක සජිත් ප්‍රේමදාස මහතා පෞද්ගලිකවම හමුවී සංවිධායකවරුන් මාරු කිරීමට පෙර පක්ෂය ආරම්භයේ සිට කටයුතු කළ නිලධාරීන් සහ නායකයන් වහාම වෙනස් කරන්නැයි ඉල්ලා තිබේ.

එසේ වෙනස්කර ජනතා ආකර්ෂණීය පුද්ගලයන් එම තනතුරුවලට පත් කරන්නැයිද ඔවුහු පක්ෂ නායකත්වයෙන් ඉල්ලා ඇත.

මැතිවරණ හයක් එක දිගට පරාජයට පත්ව ඇති හෙයින එම මැතිවරණ පරාජයන්ට ආසන සංවිධායකවරුන්ට පමණක් චෝදනා එල්ල කිරීම අසාධාරණ බව පෙන්වාදී ඇති එම නියෝජිතයන් පක්ෂ නිලධාරී මණ්ඩලය කඩිනමින් වෙනස් නොකළහොත් ඉදිරි මැතිවරණද පරාජයට පත්වීම නොවැළැක්විය හැකි බව ප්‍රකාශ කර ඇත.

ඔවුන් පක්ෂ නායකත්වයට මෙසේ දැඩිව ප්‍රකාශ කර ඇත්තේ පක්ෂයේ පරාජයට වගකිවයුතු බව පවසමින් සමගි ජන බලවේගයේ ආස සංවිධායකවරුන් පිරිසක් ඉවත් කිරීමට සූදානම් වූ අවස්ථාවේදීය.

පසුගිය ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේ නම් මහ මැතිවරණයෙන් මීට වඩා ලොකු ආසන ප්‍රමාණයකට ගමන් කිරීමට හැකියාව ලැබෙන බවත් එම ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ඇතුළු සෙසු දේශපාලන පක්ෂ සමග පුළුල් සන්ධානයකට යොමු වූයේ නම් ලොකු ජයග්‍රහණයකට යෑමට අවස්ථාව තිබූ බවද ඔවුන් පෙන්වා දී ඇත.

එසේම ගෝඨාභය රාජපක්ෂ මහතා රට භාරදුන් මුල් අවස්ථාවේදී විපක්ෂ නායකවරයා වශයෙන් භාරගත්තේ නම් එසේ කරන වැඩ කොටස තුළින් යම් නමක් හදා ගැනීමට හැකියාව තිබූ බවත් රනිල් වික‍්‍රමසිංහ මහතා පසුගිය ජනාධිපතිවරණයේදී ලක්ෂ විස්සක ඡන්ද පදනමකට ගියේ රට බාර ගැනීමෙන් යම් නමක් හදා ගැනීම නිසා බවද සඳහන් කර ඇත.

විපක්ෂ නායකවරයාට රට භාර ගැනීමට ආරාධනා කළ අවස්ථාවේදී පක්ෂයේ සිටින ඇතැම් ආර්ථික ඔස්තාර්ලා මේ අවස්ථාවේදී භාර නොගන්නැයි පවසමින් ඔහු අධෛර්යමත් කළ බව පැවසූ ආසන සංවිධායකවරු සහ පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ පක්ෂය ආරම්භයේ සිට මේ දක්වාම කටයුතු කරන නායකයන් සහ නිලධාරීන් වහාම වෙනස් කර නිර්මාණශීලී අදහස් ඇති තරුණ නියෝජිතයන් එම පුටුවලට පත් කළ යුතු බවද පෙන්වාදී ඇත.