hit counter

2026 ජනවාරි මස 07 වන බදාදා

2026 ජනවාරි 06, පෙ.ව. 12:05



අද වන විට අප රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට මුවාවී ශිෂ්ටත්වය, ශීලාචාරකම බැහැර වී අසම්මත, අශිෂ්ට, අශීලාචාර, අසභ්‍ය ලක්ෂණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ඇතුලත් වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සුචරිතවත් නැණවත් දරු පරපුරක් බිහි කළ නිදහස් අධ්‍යාපනය⁣ට උද්දච්ච රජය අසභ්‍යත්වය එක් කර ඇති බවයි විපක්ෂ නායකයා සඳහන් කරන්නේ.

නිදහස් අධ්‍යාපනය අප රට සතු වටිනාම සම්පතක් වන අතර මෙය අපේ රටේ සුබසාධන රාජ්‍යයේද අති වැදගත් අංගයක් වී ඇති අතර අභියෝග බාධා දුුක් කම්කටොලු බාධා රැසක් මැද නිදහස් නිවහල් අධ්‍යාපනය රාජ්‍ය ප්‍රතිපත්ති සඳහා ඇතුළත් කර සිටියේ අධ්‍යාපනය තුළ සියලු දෙනාට සර්ව සාධාරණ අයිතියක් ලබා දීමට බව හෙතෙම කියා සිටියි.

අප රටේ අධ්‍යාපනයට ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවත් නව තාක්ෂණය කෘත්‍රිම බුද්ධි ඇතුළු පරිවර්තනාත්මක වෙනසක් අධ්‍යාපනය තුළ සිදු විය යුතු බවත් ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයට යොමු වී නිදහස් නිවහල් නොමිලේ අධ්‍යාපනය ශක්තිමත් කළ යුතු බවත් ඔහු පවසයි.

මේ පරිවර්තනාත්මක වෙනස්කම් කරන විට කලබල නොවී විධිමත් කාර්යක්ෂම සාකච්ඡාවක් සිදු කර ජනතාවගේ අදහස් ලබා ගෙන යහපත් ගුණගරුක යුක්තිගරුක සාරධර්ම ගුණාංගවලින් සපිරි දරු පරපුරක් නිර්මාණය කළ යුතු බවයි ප්‍රේමදාස මහතා පවසන්නේ.

නමුත් රජය නිසි සාකච්ඡාවකින් නිසි ක්‍රමවේදවලින් බැහැරව උද්දච්චකමින් යුතු ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට යොමුවී ශීලාචාරය වෙනුවට අසභ්‍යත්වය ප්‍රතිසංස්කරණවලට ඇතුළත් කර ඇති අතර අසභ්‍යත්වය නිදහස් අධ්‍යාපනය ගොදුරු කර ගෙන ඇති බව හෙතෙම අවධාරණය කරයි.

අසභ්‍යත්වය නිදහස් අධ්‍යාපනයට ඇතුළත් කිරීම කන්නන්ගර සංකල්පය නොවන බැවින් රජය එය කඩිනමින් අවබෝධ කර ගත යුතු බවයි ඔහු කියාසිටින්නේ.

රටක් ලෙස වගවීමෙන් වගකීමෙන් වැඩ කළ යුතු වන හෙයින් දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බවත් ළමා අයිතිවාසිකම් සුරක්ෂා කිරීමට ජාත්‍යන්තර ප්‍රඥප්ති පවා අත්සන් කර ඇති නමුත් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ අසභ්‍යත්වය රජ වීම යනු ළමා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් මේවාට වගකිවයුතු පාර්ශ්වය කවුද කියා පැහැදිලි කළ යුතු බවත් මෙහි වගකීම නිලධාරීන්ගේ කරපිට පමණක් පැටවීම අසාධාරණ බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියාසිටියි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: