hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 මැයි 22, පෙ.ව. 1:10



සමුපාකාර තොග වෙළද සංස්ථාවට අයත් හිගුරක්ගොඩ හා පන්නේගමුව සහල් සැකසිමේ සංකිර්ණවල 2021 වර්ෂයේ දි කිසිදු සහල් නිෂ්පාදනයක් සිදුකොට නොමැති අතර එහෙත් සේවක වැටුප්, අතිකාල දීමනා ඇතුළු සේවක පිරිවැය සදහා රුපියල් එක්කෝටි තිස්නමලක්ෂ දෙදහස්හාරසිය හතලිස් දෙකක (13,902,442) වියදමක් දරා ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසනවා.

මෙම සහල් සැකසීමේ සංකිර්ණ දෙක දැනට වසර 18කට ආසන්න කාලයක සිට ඌණ උපයෝජිතව පවතින බවද විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.

මෙම සහල් සංකිර්ණ දෙකෙහිම පැයකට සහල් කිලෝග්‍රැම් 2000ක් බැගින් සැකසිමේ ධාරිතාවයක් පවතින බව වාර්තා වෙනවා.

කිසිදු සහල් නිෂ්පාදනයක් සිදුනොකළද 2021 වර්ෂයේ සේවකයින් 03 සිට 20 දක්වා සේවක සංඛ්‍යාවක් යොදවා තිබුණා.

එමෙන්ම මෙම සහල් සැකසිමේ සංකිර්ණ දෙකට අනුබද්ධ ගබඩා 04ක්  නිෂ්කාර්යව පවතින බවද විගණන වාර්තාවේ සදහන් වෙනවා.

සංස්ථාවේ දේපල ආදායම් ඉපයිම සදහා කාර්යක්ෂමව යොදාගත යුතු බවට විගණනය මගින් නිර්දේශකොට තිබෙනවා.

මෙහිදී සංස්ථාවේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත්තේ 2021 වර්ෂයේ වි අලෙවි මණ්ඩලය සතු වි තොග සීමාසහිත වූ අතර එම වී තොග සතොස හා පුද්ගලික අංශය වෙත එකවර නිකුත් කිරිමට කටයුතු කරඇති බවයි.

එම කාලය තුල සතොස වෙත ලබාගත හැකිව තිබූ සිමිත වී තොග ප්‍රමාණය පමණක් ඇඹරිම සිදු කළ බවයි.

ගොවින්ගේ ප්‍රධාන වශයෙන් තෙත සහිත වි නිෂ්පාදන වන බැවින් එම වී තොග මිලදී ගෙන ඇඹරිම සදහා මාස කිහිපයක් ගබඩාගතව පවත්වා ගැනිමට අවශ්‍ය වී වියලිමේ පහසුකම සතොස සතුව නොමැති බවද කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට තිබෙනවා.

මෙම සහල් සැකසිමේ සංකිර්ණයට අනුයුක්ත සේවකයින් සහල් සැකසිමේ කටයුතු සදහා පුහුණු සේවකයින් බැවින් ඔවුන් වෙනත් කාර්යකට යෙදවිමට නොහැකි බවත් ගබඩා නිෂ්කාර්යව පැවතියත් එකි ගබඩා නඩත්තු සහල් සැකසිමේ යන්ත්‍ර පවිත්‍ර කිරීම, භූමිය ආරක්ෂා කිරිමේ කටයුතු සදහා එම සේවකයින් යොදාගනු ලබන බවයි.

සමුපාකාර තොග වෙළද සංස්ථාවේ 2021 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති ගණුදෙනු  සම්බන්දයෙන් මෙකි වාර්තාව නිකුත්කොට තිබුණා.

ගාල්ල – ලලිත් චාමින්ද