hit counter

2025 ඔක්‍තෝබර් මස 17 වන සිකුරාදා

2025 ඔක්‍තෝබර් 13, පෙ.ව. 12:11



ලෝකයේ මේ දක්වා බිහිවූ සෑම ආණ්ඩුවක ම පළමු කැබිනට් සංශෝධනයකින් සංකේතවත් වූයේ ඒ ආණ්ඩුවල තිබූ අභ්‍යන්තර අර්බුදය යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පැවසීය.

මෙය ඉතා පැහැදිලි ලෝක දේශපාලන යථාර්ථයක් බවත්, අලුත් ආණ්ඩුවක පළමු කැබිනට් සංශෝධනය යනු ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුදය උත්සවාකාරයෙන් එළිදැක්වෙන අවස්ථාවක් බවත් ඔහු සඳහන් කළේය.

ජාතික ජන බලවේග ආණ්ඩුවේ පළමු කැබිනට් සංශෝධනය වනාහි ආණ්ඩුවේ පසුගිය මාස 12ක කාලය පුරා ආණ්ඩුව ඇතුළේ බුර බුරා නැඟුණු අර්බුදය එළියට පැමිණි අවස්ථාව බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

බහලුම් මගඩිය බිමල් රත්නායක ඇමතිවරයා මත පටවා ආණ්ඩුවේ ඉතුරු කොටස නිදහස් කරගැනීමට ජනාධිපතිවරයා උත්සාහ කරනු ඇතැයි කීමෙන්, බහලුම් මගඩියට ඇමතිවරයා පමණක් නොව ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ම සම්බන්ධ බවට ද ඔහු චෝදනා කළේය.

එවකට චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ පළමු කැබිනට් සංශෝධනයේදී ද කම්කරු ඇමති ධීවර ඇමති වූ බවත්, ඇතුළේ අර්බුද වසාගැනීමට මේ අයුරින් කැබිනට් සංශෝධන සිදු කෙරෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම අදහස් පළ කළේ පක්ෂ මූලස්ථානය ඉදිරිපිටදී මාධ්‍යයට අදහස් දක්වමිනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: