hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 දෙසැම්‍බර් 31, පෙ.ව. 12:01



පළාත් සභා යටතේ පාසල් සියල්ල පවත්වාගෙන යාමට, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව යෝජනා වී ඇතැයි අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි වී.රාධක්‍රිෂ්ණන් මහතා අවධාරණය කර සිටිනවා.

ඒ අනුව, ඔහු පවසන්නේ, ජාතික හා පළාත් යනුවෙන් පාසල් දෙවර්ගයක් මින් ඉදිරියට පවත්වාගෙන නොයාමටත්, අධ්‍යාපන අමාත්‍යාාංශය සිදුකළ පාසල් අධීක්ෂණය හා පරිපාලන කටයුතු පළාත් සභාවලට පැවරීමටත් ප්‍රතිසංස්කරණ ඉදිරිපත් වී ඇති බවයි.

පළාත් සභාවෙන් පළාත් සභාවට වෙනස් නොවන පරිපාලන ක්‍රමවේදයක් යටතේ සියලු පාසල් පවත්වාගෙන යායුතු බවට කාරක සභාව අදහස් කර ඇති බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

එසේම මුදල් ඇතුළු සියලු පහසුකම් ලබා දීමේදී අසාධාරණයක් නොකරන ලෙසට දැනුම් දුන් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ප්‍රාථමික ශ්‍රේණි , 6 සිට 9 ශ්‍රේණියේ සහ උසස් පෙළ වශයෙන් කාණ්ඩ තුනක් යටතේ පාසල් පවත්වාගෙන යාමටත්, වසර හතරකට වරක් මෙම වැඩපිළිවෙළ යාවත්කාලීන කිරීමටත් යෝජනා වී ඇති බබයි වාර්තා වන්නේ.

එසේම, රාධක්‍රිෂ්ණන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, උසස් පෙළ 12 ශ්‍රේණියට ද, සාමාන්‍ය පෙළ 10 ශ්‍රේණියට ද ගෙන ඒමටත් ප්‍රධාන පාසලක් වටා පිහිටි පාසල් 08ක් පෝෂණය කරමින් පවත්වාගෙන යාමටත් නියමිත බවයි.

මීට අමතරව 6 ශ්‍රේණියේ සිට ඉංග්‍රිසි භාෂාව අනිවාර්ය කිරීමට ද යෝජනා වී තිබෙන බව සභාපතිවරයා ප්‍රකාශ කළා.

පළමු ශ්‍රේණියේ සිට ඉංග්‍රිසි අනිවාර්ය කිරීමට මුලින් යෝජනා වූ බවත්, එසේ කළහොත් මවු භාෂාව සිසුන්ගෙන් ඈත්විය හැකි යැයි කාරක සභාවේ සාමාජිකයන් පෙන්වා දුන් බවත් සඳහන්.

අධ්‍යාපන ඇමතිවරයා ආංශික අධීක්ෂණ කාරක සභාවට ලබා දී ඇති මෙම යෝජනා පිළිබඳව තවදුරටත් සාකච්ඡා කළ යුතු බවත් කාරක සභාව මේ දක්වා ඊට අනුමැතිය ලබා දී නොමැති බවත් වාර්තා වෙයි.

ලබන ජනවාරි දෙවන සතියේදී නැවතත් අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව රැස්වී මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරන බව ද මන්ත්‍රී රාධක්‍රිෂ්ණන් ප්‍රකාශ කළා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව, අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකා පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණි කවිරත්න මහත්මිය සඳහන් කළේ, ජනප්‍රිය පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීමේදී පවතින තදබදය ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිර්මාණය වී ඇති ගැටලුවලට මෙම ප්‍රතිසංස්කරණ යෝජනාවලින් විසඳුමක් ලැබේ ද යන්න ගැටලුවක් බවයි.

කවිරත්න මන්ත්‍රීවරිය වැඩිදුරටත් සඳහන් කළේ, ‍සිසුන් ඇතුළත් කර ගැනීමේදී තරගයකට මුහුණදෙන ජනප්‍රිය පාසල්වල පන්ති කාමරයක් අඩු කිරීමෙන් ප්‍රායෝගික ගැටලුවලට මුහුණදිය හැකි බවයි.

ඒ අනුව උසස් පෙළ ශ්‍රේණිය 12 දක්වා අඩු කිරීමට ජනප්‍රිය පාසල්වල සහායක් නොලැබෙනු ඇතැයි කාරක සභාවේදී සාකච්ඡා වී ඇත.

පළාත් සභා යටතට පාසල් ඇතුළත් කර ගැනීම ඇතුළු නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කළ යුතු බවයි, ඇය විසින් වැඩිදුරටත් සඳහන් කළේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: