hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 මාර්තු 15, පෙ.ව. 12:11



අඩු බරැති ගැහැණු දරුවන් වැඩියෙන්ම සිටින ලොව දෙවන රට වශයෙන් ශ්‍රී ලංකාව නම් කිරීම ඉතාමත් අනතුරුදායක තත්ත්වයක් බව ශ්‍රී ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පවසයි.                              

මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකළ ඒ මහතා කියා සිටියේ බ්‍රිතාන්‍යයේ ද ලැන්සෙට් සඟරාව ලොව පුරා රටවල් 199 ක මිලියන 220 ක් දරුවන් යොදා ගනිමින් සිදු කළ පරීක්ෂණයකට අනුව මෙම තත්ත්වය හෙළිව වාර්තාවක් ප්‍රකාශයට පත් කොට ඇති බවය.                                                                                                           

තවදුරටත් අදහස් පළ කළ  ඒ මහතා මෙසේද සඳහන් කළා.

“මෙම පරීක්ෂණයේ ප්‍රධාන නිරීක්ෂණය වශයෙන් මෙම දරුවන්ගේ ස්කන්ධ දර්ශකය පරීක්ෂා කොට තිබෙනවා. ඒ අනුව ලොව වැඩිම අඩු බරැති ගැහැණු දරුවන් ඉන්නේ ඉන්දියාවේ බවත් දෙවෙනි ස්ථානය ලංකාවට බවත් එම සඟරාව ප්‍රකාශයට පත් කොට තිබෙනවා. ලංකාවේ වයස අවුරුදු 05 – 19 අතර පාසල් වයසේ ඉන්න ගැහැණු දරුවන් අතර පවතින මන්ද පෝෂණ තත්ත්වය හේතුවෙන් අඩු බරැති ගැහැණු දරුවන් හාරලක්ෂ  දස දහසක් ( 410,000 ) ක් සිටින බව මෙමගින් හෙළිව තිබෙනවා. සමස්ත පාසල් දරුවන්ගෙන් අටලක්ෂ හැටදහසක් ( 860,000 ) ක් අඩු බරින් යුක්ත බව මෙහිදී ප්‍රකාශ වෙලා තිබෙනවා.  මෙය මේ රටේ වයස අවුරුදු 05 – 19 ත් අතර ගැහැණු දරුවන්ගෙන් සියයට දහයයි දශම හතරක ප්‍රතිශතයක් වෙනවා. එම පරීක්ෂණයට අනුව ලංකාවේ වයස අවුරුදු 05 -19 අතර  පිරිමි ළමුන්ගෙන් සියයට දාහතයි දශම අටක්ද එනම් පිරිමි දරුවන් හාරලක්ෂ  පනස් දහසක්ද මන්ද පෝෂණයෙන් හා අඩු බරින් පෙලෙනවා.

මේ අඩු බරැති ගැහැණු දරුවන්  වැඩි වශයෙන් ඉන්නේ බස්නාහිර, උතුරු මැද, උතුර, නැගෙනහිර, වයඹ පළාත්වල වගේම මධ්යම පළාතේ වතුකරයෙත් වැඩි වශයෙන් ඉන්නවා. ප්‍රධානතම කාරණය තමයි මේ  ගෑනු දරුවන් තව ටික කලකින් වැඩිහිටියන් , මව්වරුන් බවට පත්වෙලා ඔවුන්ගෙන් ඉපදෙන දරුවන් පවා සෞඛ්‍යය ගැටලු සහගතව ඉපදෙන්න පුළුවන් වීම. ඒ කියන්නේ තව වසර දහයකින් පමණ මේ රටට බරපතළ සෞඛ්‍ය ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා. වර්තමානයේ රජය මේ අඩු පෝෂණයෙන් යුත්  දරුවන් ලක්ෂ 05 ක් ඉලක්ක කරගෙන පෝෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ඒ දරුවෙකුට දිනකට වැය කරන්නේ රුපියල් 85 ක් පමණයි. ඒකෙන් පුළුවන්ද දරුවෙක්ගේ පෝෂණය ඉහල නංවන්න. දැන් බිත්තරයක් රුපියල් හැටක් විතර වෙනවා. අපි රජයෙන් ඉල්ලන්නේ මේ දීමනාව  රුපියල් 150 ක් දක්වා ඉහල නංවලා අඩු පෝෂණය සහිත දරුවන් ලක්ෂ 10 ක් සඳහා පෝෂණ දීමනාව ලබා දෙන්න කියලයි. මේ අපේ අනාගත පරපුර. යුරෝපයේ දියුණු රටවල පවා දරුවන් සඳහා පෝෂණ  දීමනා දෙනවා. ඉතින් එහෙම කරනකොට අපේ රටේ අනාගත පරපුර වෙනුවෙන් ආයෝජනයක් කරන්න රජයට බැරිද. මේ වන විට ලෝක බැංකුවෙන් අපේ රටේ ළමුන් ලක්ෂ 04 ක් සඳහා වසර හතරක් දක්වා පෝෂණ වැඩසටහනක් සැලසුම් කොට තිබුනත් ඒක ක්‍රියාත්මක කරන්නවත් මේ දක්වා නිසි වැඩපිළිවෙලක් නැහැ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: