hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 මැයි 24, පෙ.ව. 11:55



ඉසුරුපායෙන් දුන් වැරැදි තීන්දුවක් නිසා මෙම පාසල් තුළ අක්‍රමිකතා රැසක් මෙන්ම ව්‍යාකූල තත්ත්වයක් ඇති බවද මින් ඉදිරියට එවැන්නක් සිදු නොවීමට කටයුතු කළ බවද හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි චමල් රාජපක්ෂ මහතා පැවැසුවා.

මන්ත්‍රිවරයා එසේ පැවැසුවේ දෙබරවැව ජාතික පාසලේ පෝෂිත පාසල යටාලතිස්ස පාසල බව කියමින් යටාල ප්‍රාථමික විදුහල පහ වසර ශිෂ්‍යත්ව අසමත් සිසුන් දෙබරවැව ජාතික පාසලට ඇතුළත් කිරීම නිසා ප්‍රදේශයේ ශිෂ්‍යත්වය සමත් සිසුනට වන අසාධාරණය පිළිබඳව  ඉකුත් 19දා හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී පැවැති සාකච්ඡාව අවසානයේදී මාධ්‍යයට කරුණු දක්වමින්.

චමල් රාජපක්ෂ මන්ත්‍රිවරයාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම ආයතනවල ප්‍රධාන රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැති හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී මන්ත්‍රිවරු හා රාජ්‍ය නිලධාරීන් දැක්වූ අදහස් මෙසේයි.

පහ වසර ශිෂ්‍යත්වයෙන්  සමත් කඩයිම් ලකුණුවලින් ඉදිරියෙන් සිටින දරුවන් බොහෝ පිරිසකට ජාතික පාසලට ඇතුළු වීමේ අවස්ථාව අහිමි වී ඇත්තේ හ/යටාලතිස්ස විද්‍යාලයේ පහ වසර ශිෂ්‍යත්වය අසමත් වන දරුවන් දෙබරවැව ජාතික පාසලට ඇතුළත් කිරීමෙන් බවත් එය ලොකු අසාධාරණයක් බව මෙම ගැටලුව සාකච්ඡා කිරීම ආරම්භ කරමින් චමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා සඳහන් කළා.

මෙතෙක් බලපැවැත්වෙන 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීමට අදාළ  2008/37 චක්‍රලේඛය  උල්ලංඝනය කරමින් අන්තර් පාසල් අතර ඇතිකරගත්  එකඟතාවක් මත මෙම කටයුතු කර ඇති බව මෙහිදී අනාවරණය වුණා.

වත්මන් අධ්‍යාපන නිලධාරියකු එම ජාතික පාසලෙහි විදුහල්පති ලෙස සිටියදී වසර ගණනක් මෙම වරද සිදු කර ඇති බව දෙබරවැව ජාතික පාසලේ වත්මන් විදුහල්පති ඩබ්ලිව්. ඒ. නිමල් කරුණු පැහැදිලි කරමින් සඳහන් කළා.

මේ වන විටත් ඔහුගේ දැඩි බලපෑමක් එල්ල වන බවත් විදුහල්පතිවරයා සඳහන් කළා.

එමෙන්ම ආදි ශිෂ්‍ය පදනමෙන් ළමයින් 24ක් සහෝදර පදනමෙන් 16කුත් අධ්‍යයන පදනමෙන්  ළමයි අටකුත් ඇතුළත් කරගන්නා බව විදුහල්පතිවරයා සඳහන් කළා.

මීට අමතරව පෝෂිත පාසල කියමින් යටාල විද්‍යාලයෙන් ශිෂ්‍යත්වය අසමත් වෙච්ච දරුවන් හැත්තෑවක් පමණ සෑම වසරකදීම බලහත්කාරයෙන් තම විද්‍යාලයට තල්ලු කරන බවද සඳහන් කළා.

එම අවස්ථාවේ චමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා මුලින්ම ශිෂ්‍යත්වය සමත් වුණ දරුවන් අරගෙන ඉතුරු ටිකට ශිෂ්‍යත්වය අසමත් වූ වැඩි ලකුණු ගත් පිළිවෙළට දරුවන් ඇතුළත් කීරීම සිදුවිය යුතු බව පැවැසුවා.

මෙම ගැටලුව හේතුවෙන් මේ වසරේදීද දෙබරවැව ජාතික පාසලට හ/යටාලතිස්ස විද්‍යාලයෙනි පහේ අසමත්වූවන් ඇතුළත් කරගැනීමට පෙර හම්බන්තොට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරිය විසින් 2023.4.3 දින ඉසුරුපාය අධ්‍යාපන ලේකම්වරයාට ලිපියක් යවමින් කරුණු විමසා තිබෙනවා.

එම ලිපියට පිළිතුරු ලෙස පෙර පරිදි බඳවා ගන්නා ලෙස එක්තරා අධ්‍යක්ෂවරියක විසින් දන්වා එවූ බවත් එමඟින්  මෙම ව්‍යාකූල තත්ත්වය මෙම වසරේදීද ඇතිවූ බවත් හම්බන්තොට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය වෙනුවෙන් එම ස්ථානයට සහභාගි වූ සහකාර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එච්.කේ. දිනුෂිකා  සඳහන් කළා.

අනතුරුව චමල් රාජපක්ෂ මහතා “යටාල විද්‍යාලයේ ඉන්නේ බලපුළුවන්කාරකම් කළ හැකි අයගේ ළමයි. ඒ ළමයි ශිෂ්‍යත්ව සමත් වුණත් අසමත් වුණත් ඉබේම ජාතික පාසලට යනවනේ. ඒ වගේම හම්බන්තොටින්, මොනරාගලින්, ලුණුගම්වෙහෙර වගේ දුර පළාත්වලින් යටාල විද්‍යාලයට ළමයි ඇතුළත් කරලා තියෙනවා. කොහොමද එහෙම වෙන්නෙ”  විමසුවා.

එහිදී සහකාර කලාප අධ්‍යක්ෂවරිය සඳහන් කළේ ආදි ශිෂ්‍ය සහෝදර කාර්යමණ්ඩල ආදි පදනම්වලින් එලෙස දරුවන් ඇතුළත් විය හැකි බවයි.

එහිදී මන්ත්‍රිවරයා දැඩි ලෙස චෝදනා කරමින් පෝෂිත පාසලක් ඇත්නම් එක් එක් පදනම් මත  ළමයි ගන්නෙ කොහොමදැයි විමසුවා.

පසුව චමල් රාජපක්ෂ මහතා විසින් මෙම ගැටලුව සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා කැඳවා සිටි මවුපියන්ටද අවස්ථාවක් ලබාදුන් අතර යටාලතිස්ස විද්‍යාලයෙන් තොරතුරු දැනගැනීමේ පනත අනුව ළමයි ඇතුළත් කිරීම සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා සිටියද ව්‍යාජ තොරතුරු එම විදුහල්පතිවරයා විසින් ලබාදී ඇති බව එම ලේඛන ඉදිරිපත් කරමින්  එක් පියකු සඳහන් කළා.

යටාලතිස්ස පාසලේ  ශිෂ්‍යත්වය අසමත් වන දරුවන් පෙර පරිදි තිස්සමහාරාම මහා විද්‍යාලයට නම් කිරීමට  වහාම අධ්‍යාපන ලේකම්ට දන්වා යැවිය යුතු බව සඳහන් කළා.

ඉසුරුපායෙන් ලබාදුන් වැරදි තීන්දුවක් නිසා මෙම පාසල් තුළ අක්‍රමිකතා රැසක් මෙන්ම ව්‍යාකූල තත්ත්වයක් ඇතිවූ බව කියමින් මින් ඉදිරියට එවැන්නක් සිදු නොවීමට කටයුතු කළ බව රැස්වීම් ශාලාවෙන් පිටතට පැමිණි චමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා මාධ්‍යයට අදහස් දක්වමින් සඳහන් කළා.