hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ජූනි 12, පෙ.ව. 10:53



මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ දා දිඹුලාගල, මඟුල්දමන මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් එම විද්‍යාලයේ දේපළවලට කළ අලාභහානිය ඔවුන්ගේ මවුපියන් විසින් පියවීමට විදුහල්පතිවරයා ඉදිරියේ පොරොන්දු කරවා ගත් බව මනම්පිටිය පොලිසිය සඳහන් කළා.

මඟුල්දමන මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා මේ පිළිබඳ පොලිසියට සිදුකළ පැමිණිල්ලෙන් පසු විද්‍යාලයේ දේපළවලට හානි කළ සිසුන් හයදෙනෙකු සහ ඔවුන්ගේ මවුපියන් පොලිසියට කැඳවා අවවාද කිරීමෙන් පසු සිසුන්ගේ මවුපියන් දරුවන් විසින් විනාශ කරන ලද පොදු දේපළ ‍ෙදාළොස් වන දාට පෙර නැවත තිබූ පරිදි ම සකස්කර දීමට පොරොන්දු වූ බව ද මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර මහතා සඳහන් කළා.

සාමාන්‍ය පෙළ විභාගය අවසන් වීමෙන් අනතුරුව එම විද්‍යාලයේ සිසුන් හයදෙනකුගේ කණ්ඩායමක් විද්‍යාලයේ පන්ති කාමරවල තිබූ උපකරණ, විදුලි පංකා මෙන් ම විද්‍යාලයේ වැසිකිළිවල ‍ෙදාරවල් කඩා දේපළ රැසක් විනාශ කිරීම සම්බන්ධයෙන් විදුහල්පතිවරයා මනම්පිටිය පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

අනතුරුව අදාළ සිසුන් සහ ඔවුන්ගේ මවුපියන් මනම්පිටිය පොලිසියට කැඳවා සිසුන් විසින් විනාශ කර දැමූ සියලු පොදු දේපළ තිබූ පරිදි ම සකස් කරවීමට මවුපියන්ට මනම්පිටිය පොලිසිය විසින් උපදෙස් දී තිබෙන අතර එසේ නොකළහොත් පොදු දේපළ විනාශ කිරීම යටතේ නඩු පැවැරීමට කටයුතු කරන බව ද පොලිසිය මවුපියන්ට දන්වා තිබෙනවා.

ඒ අනුව තම දරුවන් විද්‍යාලයේ සම්පත්වලට කළ හානිය යථා තත්ත්වයට පත්කර සකස් කරදීමට මවුපියන් පොරොන්දු වී තිබෙන බව ද මනම්පිටිය පොලිසිය පවසනවා.

පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වාගේ සහ සහකාර පොලිස් අධිකාරි චානක ද සිල්වාගේ උපදෙස් පරිදි මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර ඇතුළු පොලිස් නිලධාරීහු කණ්ඩායමක් මේ පිළිබඳ විශේෂ පරීක්ෂණයක් පවත්වනවා.

එම විද්‍යාලයේ සිසුන් සහ ඔවුන්ගේ මවුපියන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් 13 වනදා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව මනම්පිටිය පොලිසිය පවසයි.