hit counter

2024 ජූනි මස 20 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 12, ප.ව. 6:50



මෙරට අධ්‍යාපන කේෂ්ත්‍රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීම කාලීන අවශ්‍යතාවයක් බව ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති, අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.

ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගය 10 ශ්‍රේණියේදී සහ උසස් පෙළ විභාගය 12 වන ශ්‍රේණියේදී පැවැත්වීමට යෝජනා කර ඇති බවයි ඔහු කියා සිටියේ.

තරගකාරී අධ්‍යාපන ක්‍රමවේදයක් තුළ ගුණගරුක සමාජයක් ගොඩනැඟිය නොහැකි බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.

වෘත්තීය පුහුණු අධ්‍යාපනය රටක කාලීන අවශ්‍යතාවයක් බවත්, විශ්වවිද්‍යාල සඳහා තිබෙන පිළිගැනීම එම ආයතනවලටත් ලබාදිය යුතු බවත් අමාත්‍යවරයා එහිදී අවධාරණය කළා.

මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා.

“මේ රටේ අධ්‍යාපනයේ ඉහළ ප්‍රමිතියක් තිබෙනවා. නමුත් එහි ඉහළම අධ්‍යාපන අවස්ථා ලබා ගැනීමට අපේ සිසු දරුවන්ට අවස්ථා ප්‍රමාණවත් නැහැ. අද තිබෙන තරගකාරීත්වය තුළ ළමුන්ව පුරුදු පුහුණු කරන්නේ කුසලතාව, දැනුම, බුද්ධිය වර්ධනය කිරීමට නෙමෙයි, දැනුම කටපාඩම් කිරීමේ ක්‍රමවේදයක් දැන් පවතින්නේ.

පහ වසර ශිෂ්‍යත්වය ආරම්භයේදීම පවතින්නේ තරගයක්. මේ තරගකාරීත්වය නිසා ළමුන් අතර ද්වේශය, ක්‍රෝධය ඇති වෙනවා. විභාගවලදී ඉහළ ලකුණු ලබා ගත්තද, අනික් පැත්තෙන් මානව ගුණාංගවල වර්ධනයක් සිදු වෙලා නැහැ. ඒ වගේම සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාගවලත් තරගකාරීත්වයක් තිබෙනවා. තරගකාරි අධ්‍යාපන ක්‍රමයේ ස්වභාවය පවතින තුරු, රටට හිතැති පරාර්ථකාමී ජන කොට්ඨාසයක් නිර්මාණය කිරීම අසීරුයි.

ලෝකයේ දියුණු රටවල්වල අධ්‍යාපන ක්‍රමය ගැන සොයා බැලුවහොත්, සාමාන්‍ය පෙළ වාර විභාගයක් තිබෙනවා. නමුත් ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් නැහැ. සෑම ළමයෙක්ම සමත් කරනවා වගේම දුර්වල තැන් ඇති ළමයින් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර, අධ්‍යාපනය ලබාදීමක් සිදු කරනවා. හොඳම අධ්‍යාපනයක් සහිත රටක් විදිහට ශ්‍රේණිගත කර තිබෙන ෆින්ලන්තයේත් පවතින්නේ 1970 පැවති අපේ රටේ අධ්‍යාපන ක්‍රමයම තමයි.

ළමුන්ට විවේකී මනසක් නොතිබුණොත් බුද්ධිය ග්‍රහණය කර ගැනීමට අපහසුතාවයක් ඇති වෙනවා. උපකාරක පන්ති නොමැති වුවත් ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම සාර්ථක මට්ටමක පවතිනවා. තරගකාරීත්වය හමුවේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන ළමුන්ගේ පවා බහුතරයක් මානසික ආතතයකින් පෙළෙන බව දකින්නට ලැබෙනවා.

මෙම තත්ත්වය විශ්වවිද්‍යාලයට ලබා දෙන ප්‍රමුඛතාවය මුල් ළමාවිය සංවර්ධනයටත් ලබා දෙන්න අපි යෝජනා කර තිබෙනවා. වැඩිහිටි සිසුන්ට ඉගැන්වීම් කරන්න අසීරු නැහැ. නමුත් මුල් ළමාවිය තමයි පළමුවෙන්ම නිවැරදිව හදාගත යුත්තේ.

උසස් අධ්‍යාපන ක්‍රමවේදය තුළ පවතින්නේ අසංවිධිත අධ්‍යාපන ක්‍රමයක්. රාජ්‍ය විශ්වවිද්‍යාල 16 ක් තිබෙනවා. ඒ රාජ්‍ය විශ්වවිද්‍යාල පාලනය කරන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින්. ස්වාධීන ලෙස එම ආයතනය කටයුතු කරනවා. නමුත් විශ්වවිද්‍යාලවලට අවශ්‍ය ප්‍රතිපාදන සැලසීම තමයි එහිදී සිදු වෙන්නේ. නිදහස් අධ්‍යාපනය පෞද්ගලික අංශයට විවෘත කළත්, ඒ සඳහා නිසි ක්‍රමවේදයක් මෙතෙක් සකස් කර නැහැ.

විදේශ විශ්වවිද්‍යාල සහ ඒවාට අනුබද්ධිත විශ්වවිද්‍යාල පවතිනවා. ඒවායෙහි ප්‍රමිතිය සොයා බැලීමටත් ක්‍රමවේදයක් නැහැ. වෘත්තීය පුහුණු අධිකාරිය යටතේත් අධ්‍යාපන ආයතන තිබෙනවා. විශ්වවිද්‍යාලවල තිබෙන පිළිගැනීම වෘත්තීය පුහුණු ආයතනවලට නැහැ. වෘත්තීය පුහුණු අධ්‍යාපනය රටක අවශ්‍යතාවයක්. ඒ සඳහා පිළිගැනීමක් ලබා දිය යුතුයි.

මේ තත්ත්වය තුළ රටේ තරුණ ප්‍රජාව වෘත්තීය අධ්‍යාපනය කෙරෙහි නැඹුරු වීමට අධෛර්යමත්ව තිබෙනවා. වෙනත් රටවල වෘත්තීය පුහුණුවට උපාධියක් ලබා දෙනවා. මේ රටේ අධ්‍යාපන ක්‍රමයේ පූර්ණ වෙනසක් කළ යුතුයි කියා අපි යෝජනා කළේ ඒ නිසයි.

ඉන්දියානු මොඩලය අධ්‍යයනය කරමින් තමයි 1978 දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ආරම්භ කළේ. දැන් ඉන්දියාව එම අධ්‍යාපන ක්‍රමය අවලංගු කර දුරගමනක් ඇවිත් තිබෙනවා. අද ඉන්දියාවේ පවතින්නේ උසස් අධ්‍යාපන ස්වාධීන කොමිෂන් සභාවක්. අධ්‍යාපන කේෂ්ත්‍රය ආණ්ඩුවේ ද, පෞද්ගලික ද කියා අදාළත්වයක් කර නොගෙන නිසි ප්‍රමිතියකට අනුව, පාලනයකින් යුතුව විශ්වවිද්‍යාල ලියාපදිංචි කරනවා.

අප රටේ උසස් අධ්‍යාපන ප්‍රමිතිය සකස් කරදීමට අපොහොසත් වීම මත තමයි ඇතැම් ළමුන් විදෙස්ගත වෙන්නේ. ඒ වගේම ළමුන්ගේ කාලය නාස්ති වීමත් බරපතල අපරාධයක්. විභාග අවසන් වුණාම ප්‍රතිඵල ලැබෙන තුරු මාස ගණන් නිවෙස්වලට වී සිටිනවා. ළමුන්ගේ කාලය නාස්ති වීමේ අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුයි.

එවැනි තත්ත්ව තුළ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ වෘත්තීය පුහුණු අධිකාරිය වෙනුවට ස්වාධීනව කටයුතු කළ හැකි උසස් අධ්‍යාපන කොමිෂන් සභාවක් අප යෝජනා කර තිබෙනවා. උසස් අධ්‍යාපන කොමිෂන් සභාව යටතේ රාජ්‍ය විශ්වවිද්‍යාල, පෞද්ගලික විශ්වවිද්‍යාල, වෘත්තීය විශ්වවිද්‍යාල යන ඒකක තුනක් සහ ඒවායෙහි ප්‍රමිතිය ආරක්ෂා කර ගැනීමට වෙනම ඒකකයක් ද ක්‍රියාත්මක වෙනවා.

උපාධියක් ලබාදීමේදී එක් එක් විෂයන්වලට අදාළ නොවන ලෙස රටේ ප්‍රතිපත්තියට අනුව සිදුවිය යුතුයි. ඒ වගේම එක් එක් විශ්වවිද්‍යාලවලින් ලබා දෙන උපාධිවල වෙනසක් සිදුවෙන්න බැහැ. මේ සියල්ලටම එක් ප්‍රමිතියක් තිබිය යුතුයි.

මින් ඉදිරියට අධ්‍යාපන කඩ පවතිනවා, අධ්‍යාපනය විකුණනවා කියා හෝ අධ්‍යාපනයේ ප්‍රමිතිය නැහැ කියා කාටවත් කියන්න බැහැ. අතීතයේ පැවති අධ්‍යාපන කේෂ්ත්‍රයේ වැරදි ඉදිරියේදී සිදු නොවීමට යෝජනා රැසක් අප ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේම 10 ශ්‍රේණියේදී සාමාන්‍ය පෙළ සහ 12 වැනි ශ්‍රේණියේදී උසස් පෙළ විභාගයත් පැවැත්වීමට අප යෝජනා කර තිබෙනවා.

කමිටුවක් විදිහට මෙවැනි මූලික පියවර රැසක් අප ගෙන තිබෙනවා. මේ ආකාරයට කරුණු සොයා බලා ඒවා ගැඹුරින් අධ්‍යයනය කරමින් දීර්ඝ වාර්තාවක් අප සකස් කර තිබෙනවා. විද්වතුන්ගෙන් ඇතුළු කේෂ්ත්‍රයට සම්බන්ධ සියලුම දෙනාගෙන් අදහස් එම වාර්තාව සැකසීමට ලබාගෙන තිබෙනවා.

රටේ පවතින නිදහස් අධ්‍යාපන ක්‍රමවේදය සම්බන්ධයෙන් පුළුල් කතිකාවතක් අවශ්‍යයි. රටේ ජනතාවත් මේ සඳහා සම්බන්ධ කරගෙන ජාතික රාජ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමට යෝජනා කරනවා. මේ ප්‍රතිපත්තිය පාර්ලිමේන්තු පනතකින් සම්මත කරමින් සකස් කළ යුතුයි. එම ප්‍රතිපත්තිය ආණ්ඩු මෙන්ම ඇමැතිවරු වෙනස් වුණා කියලා වෙනස් විය යුතු නැහැ.

මේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රමවේදය වෙනස් කිරීමේදී සමහර අය දේශපාලන වාසි ලබා ගන්න පුළුවන්. එහිදී රටේ ජනතාව තීන්දු කළ යුතුයි දරුවන්ගේ අධ්‍යාපනය විනාශ වෙන්න දෙනවාද නැද්ද කියලා. ඒ නිසා රටේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න මඟපෙන්වීමට අප සූදානම්. නමුත් මේ රටේ උසස් අධ්‍යාපනය කඩාකප්පල් කරන සංවිධානවලට අවශ්‍ය විදිහට කටයුතු කරන්න රජය සූදානම් නැහැ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: