hit counter

2025 මැයි මස 10 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 29, පෙ.ව. 11:23



වර්ෂ 1756 දී ආක්‍රමණික ලන්දේසීන් විසින් මහනුවර රජ මාළිගාවට පහර දී පැහැර ගත් මගුල් කඩුව , ලෙව්කේ මහ දිසාවගේ කාළතුවක්කුව ඇතුළු කෞතුක භාණ්ඩ 06 ක් අද (29) අලුයම යළිත් නෙදර්ලන්තයේ සිට ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබුණා.

එසේ රැගෙන විත් තිබූ කෞතුක භාණ්ඩ අතර කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ මගුල් කඩුව , රජතුමාට අයිති රිදී කස්තානය , රජතුමාගේ රන් පිහිය  ලෙව්කේ මහ දිසාවගේ කාළතුවක්කුව , සහ මහ තුවක්කු දෙකක් විය.

මෙම කෞතුක භාණ්ඩ අද (29) අලුයම 05.05 ට ජර්මනියේ ෆ්‍රෑන්ක්පර්ට් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 554 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණ.

මෙම කෞතුක භාණ්ඩ භාර ගැනීම සදහා බුද්ධ ශාසන , ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර විකවික්‍රමනායක , ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනිය බොනී හෝබාච් ( Bonnie Horbach )  , බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ , එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තිලක් නන්දන හෙට්ටිආරච්චි , ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සනූජා කස්තුරිආරච්චි , කොළඹ ජාතික කෞතුකාගාර අධිකාරී රංජිත් හේවගේ , ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහකාර ලේකම් ශ්‍රී .රජීව් යන මහත්ම මහත්මීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

මෙම කෞතුක භාණ්ඩ පිළිබඳ තොරතුරු ඇතුළත් ලිපිගොනුව ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිතුමිය විසින් අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා වෙත භාර දුන් අතර පසුව එය අමාත්‍යවරයා විසින් ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරිය වෙත භාර දීම සිදු කෙරුණ.

මෙම කෞතුක භාණ්ඩ තොගය දැඩි ආරක්ෂක රැකවල් යටතේ කොළඹ ජාතික කෞතුකාගාරය වෙත රැගෙන යාමට පියවර ගෙන තිබූ අතර , මෙම භාණ්ඩ තොගය ශ්‍රී ලංකාවේ පරිසර තත්වයන්ට අනුවර්තනය වන තෙක්  වායුසමනය කළ විශේෂ කුටි තුළ රදවා තැබීමට පියවර ගැනීමට නියමිතයි.

නෙදර්ලන්තය තුළ ලන්දේසීන් විසින් පැහැර ගත් තවත් ශ්‍රී ලංකාවට අයත් කෞතුක භාණ්ඩ රාශියක් ඇති බවත් , ඒවාත් ඉදිරි කාළයේ දී කොටස් වශයෙන් මෙරටට රැගෙන ඒමට පියවර ගනිමින් තිබෙන බවත් , මීට අමතරව එංගලන්තය ඇතුළු තවත් විදේශ රටවල් විස්සක පමණ මෙසේ අප රටෙන් පැහැර ගත් විශාල කෞතුක භාණ්ඩ තොගයක් ඇති බවත්  බුද්ධ ශාසන , ආගමික සහ සංස්කෘතික අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තිලක් නන්දන හෙට්ටිආරච්චි මහතා පැවසුවා.