2023 ජූලි 06, ප.ව. 2:48
තායිලන්තයෙන් මෙරටට ලබා දී තිබෙන තායි රාජා හා කණ්ඩුල ඇත්තු නැවත ලබා ගැනීම සම්බන්ධයෙන් තායිලන්ත රජයේ කිසිදු හෝ තීරණයක් ගෙන නොමැති බව තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති පොජ් හර්න්පෝල් (H.E. Poj Harnpol) මහතා පැවසුවා.
එවන් තොරතුරු සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයන්හි විවිධ පුවත් සංසරණය වුවත් රාජ්යත්රාන්තික මට්ටමින් මෙතෙක් එවැනි කිසිදු තීරණයකට එළැඹ නොමැති බවද ඇතැම් සමාජ මාධ්‍ය අසත්‍ය තොරතුරු පළ කරන බවත් තානාපතිවරයා සදහන් කළා.
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පංතියට මෙයට වසර 37කට පෙර තායිලන්ත රජයෙන් පරිත්‍යාග කළ තායිරාජා ඇතාගේ සුවදුක් විමසීම පිණිස අද (06) මහනුවරට පැමිණි අවස්ථාවේ තානාපතිවරයා මේ බව ප්‍රකාශ කොට සිටියා.
මද කිපීම නිසා මහනුවර සුදුහුම්පොළ රජමහා විහාරස්ථාන භූමියේ බැඳ සිටින තායි රාජාගේ සුවදුක් විමසා බැලීමෙන් පසු ඇතා මනා සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව තහවුරු වූයේ යැයි ද තානාපතිවරයා පැවසුවා.
තායි රාජා ඇතා නිරීක්ෂණයට ප්‍රථම ඒ මහතා ශ්‍රී දළදා මාලිගාවට ගොස් දන්ත ධාතූන් වහන්සේ වැදැපුදා ආශිර්වාද ලබා ගත් අතර විශේෂ අමුත්තන්ගේ මැදිරියේදි ඒ මහතා දියවඩන නිළමේ ප්‍රදීප් නිලංගල දෑල මහතා සමඟ සාකච්ඡාවක ද නිරත වුණා.
ශ්‍රී ලංකාවේ අලි ඇතුන් රැක බලා ගැනිම සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම තායිලන්තයෙන් ලබාදීමට බලාපොරොත්තු වන්නේ යැයිද ඒ මහතා සඳහන් කළා.
ප්‍රතිකාර සඳහා තායිලන්තය කරා රැගෙන ගිය මුතුරාජා ඇතු මේ වන විට සුවයෙන් පසුවන බවත් අදාළ තීරණය ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර රාජ්‍යතාන්ත්‍රික වශයෙන් පවතින සම්බන්ධතාවට කිසිදු ආකාරයකින් බලනොපාන බවත් හෙතෙම අවධාරණය කළා.
ශ්‍රී ලංකා රජයට හා ජනතාවට මෙන්ම තායිලන්ත රජයට හා ජනතාවට ද අවශ්‍ය වී තිබෙන්නේ මුතු රාජා හස්තියාට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දී සුව කර ගැනීම බවත් ඒ සඳහා අවශ්‍යය සියලු කටයුතු මේ වනවිට සිදු වෙමින් තිබෙන බවත් ඒ මහතා සඳහන් කළා.
මෙහිදී අදහස් දැක්වූ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා තායිලන්ත තානාපතිවරයා මෙයට පෙරද ඇතා බැලීමට පැමිණි බවත් මේ වනවිට මද කිපී සිටින ඇතා මනා සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවත් පැවසුවා.
සමාජ මාධ්‍ය ඔස්සේ රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් අසත්‍ය කරුණු සමාජගත කරමින් සිටින බවත් හීලෑ අලි ඇතුන් රැක බලා ගැනීමේ දී යම් යම් සුළු අඩුපාඩු සිදුවුවත් සමස්තයක් ලෙස මෙම සතුන් ඉතා හොඳින් රැක බලා ගන්නා බවත් ඒ මහතා පැවසුවා.
නිවෙස් හා විහාරස්ථාන ආදිය ආශ්‍රීතව හීලෑ අලි අතුන් 100ක් සහ පින්නවල අලි අනාථාගාරයේ හීලෑ අලි ඇතුන් 200ක් සිටින බව කී ඒ මහතා එම සත්වයන් රැසක් සුරක්ෂිතව පසුවන බව වැඩිදුරටත් සඳහන් කළා.
මුතුරාජා ඇතුගේ සිද්ධිය හේතුවෙන් හීලෑ අලි ඇත් භාරකරුවන් මහත් අසීරුතාවට හා සිත් තැවුලට පත්වූ බව ද කී ඒ මහතා බොහෝ පිරිසක් අලි ඇතුන් රැක ගනිමින් ඔවුන්ට සත්කාර කරන බව ද පෙන්වා දුන්නා.
තාක්ෂණික වෛද්‍ය උපකරණ හා මෙවලම්වල හිඟතාව සතුන්ට ප්‍රතිකාර කිරීමේ ගැටලුවක් බවට පත්වී ඇතැයි ද දියවඩන නිළමේවරයා සඳහන් කළා.
ශ්‍රී දළදා මාලිගාවේ අලි ඇතුන්ගේ ප්‍රතිකාර භාරව කටයුතු කරන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය අශෝක දංගොල්ල මහතාද මේ අවස්ථාවට එක්ව සිටි අතර මෙහිදී අදහස් පළ කළ හීලෑ අලි ඇතුන් හිමියන්ගේ සංගමයේ ලේකම් දම්සිරි කරුණාරත්න මහතා කියා සිටියේ අලි ඇතුන් බලාගන්නන් සඳහා විධිමත් පුහුණුවක් ලබාදීම අත්‍යවශ්‍ය කරුණක් බවයි.
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:05
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:02
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:00