hit counter

2024 දෙසැම්‍බර් මස 26 වන බ්‍රහස්පතින්දා

2023 ඔක්‍තෝබර් 05, ප.ව. 7:53



2023 ආසියානු ක්‍රීඩා උළෙලේදී තරුෂි කරුණාරත්න කාන්තා මීටර් 800 ඉසව්වෙන් රන් පදක්කම දිනා ගෙන තිබෙනවා.

ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව්වෙන් මෙසේ රන් පදක්කමක් දිනා ගෙන ඇත්තේ වසර 21කට පසුව බවයි වාර්තා වන්නේ.

රත්නායක විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන තරුෂි කරුණාරත්න මෙම දක්ෂතාව දක්වන්නේ 2002 වසරේ දකුණු කොරියාවේ පැවති ආසියානු ක්‍රීඩා උළෙලේදී මළල ක්‍රීඩාවෙන් රන් පදකක්කමක් ශ්‍රී ලංකාවට දිනා දුන් සුසන්තිකා ජයසිංහ සහ දමයන්ති දර්ශාගෙන් පසුවයි.

මීටර 800 කාන්තා ඉසව්වේදී තරුෂි කරුණාරත්න මිනිත්තු 2.03:20ක කාලයකින් තරගය අවසන් කිරීමට සමත් වුණා.

තරුෂි විඳි වේදනාවන් ලැයිස්තුව ඒ ප්‍රමාණයෙන්ම විඳ ගනිමින් ඇය අසළින්ම සිටි දෙදෙනෙකි ඇයගේ මව්පියන්.

මේ තරුෂිගේ ආදරණීය මෑණියන් සතුටු කඳුළු පිරි දෙනෙතින් මෙසේ සඳහන් කළා.

“මේ ලෝකෙන්ම ලොකුම සතුට වින්දේ මම කියලා හිතනවා. මගේ දරුවා ඔය ජයග්‍රහණය ගන්න කරපු කැපකිරීම පුදුම දරාගැනීමක්. පුහුණුවීම්වල වුණත් හරිම අමාරුවෙන් කාලය ගෙවපු දවස් තිබුණා. මගේ දුවට අභියෝග කළ, මොකක් හරි චූටි ප්‍රශ්නයක් හරි හිතරිදවීමක් හරි කරපු හැමෝටම මම ස්තූතිවන්ත වෙනවා. ඒවායෙන් දුව තවත් පන්නරය ලැබුවා. දුව ඇත්තටම මලක් නොවී ගලක් වීම ගැන මම ඇත්තටම ආඩම්බරයි. දැන් මම දුක්වෙන්නේ නෑ දුවට ඕන දෙයක් දරාගන පුළුවන්. කොරෝනා කාලේ උඩුදුම්බර අපේ ගෙදර හිටියේ. පුහුණුවීම් කරන්න යන්න තැනක් තිබුණේ නෑ ඇඳිරිනීතිය නිසා. ඊට පස්සේ වත්තේ පාරක් කපාගෙන ඒක උඩ දිව්වා. එක දවසක් වත් පුහුණුවීම් මගහැරියේ නෑ. අපේ වත්ත තියෙන්නේ පල්ලමක වගේ ඒකෙ තමයි මමයි මහත්තයයි ඒ පාර කැපුවේ. ඒකෙ උඩට පහළට දුවලා තමයි දුව ටයිමින් හදාගත්තේ. අපි දැනට ඉන්නේ දුවගේ පුහුණුවීම්වලට ළඟ නිසා කුලී නිවසක. අපිටම කියලා නිවසක් තියෙනවා නම් හොඳයි.”