hit counter

2024 දෙසැම්‍බර් මස 30 වන සඳුදා

2023 අප්‍රේල් 21, ප.ව. 4:36



රජය තම ඉල්ලීම් කෙරෙහි යම්කිසි හෝ නම්‍යශීලීභාවයක් දක්වන්නේ නම් හෙට සිට හෝ උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු සඳහා සහභාගී වන බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක මහතා පවසනවා.                                                            

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අද (21) දින පැවැති මාධ්‍ය හමුවකදී මහාචාර්යවරයා මේ බව සඳහන් කළා. 

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ මහාචාර්යවරයා සඳහන් කළේ,

“අධ්‍යාපන අමාත්‍යවරයා ආචාර්යවරුන්ගේ ගැටලුව සම්බන්ධයෙන් නම්‍යශීලීව යම්කිසි විසඳුමක් කරා පැමිණීමට උත්සාහ කරන අවස්ථාවේ ජනාධිපතිවරයා අත්තනෝමතිකව මැදිහත්වී ආචාර්යවරුන්ට තර්ජනය කිරීම අපි හෙළාදකිනවා. අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් කිරීම කෙරේ අපේ කිසිදු ගැටලුවක් නෑ. නමුත් අධ්‍යාපනයට අවශ්‍ය කිසිදු පහසුකමක් ලබානොදී දේශපාලන න්‍යාය පත්‍රයක් මත පමණක්ම ක්‍රියාත්මක වෙමින් මේ ආකාරයෙන් අපට තර්ජනය කිරීම සංගමයක් වශයෙන් කිසිසේත් පිළිගන්නේ නැහැ.අපි ජනාධිපතිවරයාට අභියෝග කරනවා.. පුළුවන්නම් අපේ දේපළ රජයට අරගෙන අපිව සිරගත කරන්න කියලා. අපේ ඉල්ලීම් පිළිබඳ අවධානය යොමුකොට තාවකාලික විසඳුමක් දෙනවා නම් අපි අදාළ කටයුතු සඳහා ඕනෑම වෙලාවක එක්වීමට සූදානම්.

මේ දරුවන් සමඟ අපේ කිසිදු ගැටලුවක් නෑ. දරුවන්ට අධ්‍යාපනය ලබාදීම තමා අපේ අරමුණ. නමුත් ඊට අකුල් හෙළන්නේ රජයයි. මේ බදු පනත සම්පූර්ණයෙන් අහෝසි කරන්න කියලා අපි කියන්නේ නැහැ. සුළු වෙනස්වීම් කිහිපයක් පමණයි කරන්න කියන්නේ.ඊට අමතරව රජයේ ආදායම් වැඩි කරගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග අපි පෙන්වා දී තිබෙනවා. ඒ පිළිබඳ කිසිදු හෝ අවධානයක් යොමු නොකොට අපිට මේ ආකාරයෙන් තර්ජනය කිරීම කිසිසේත්ම පිළිගන්න බැහැ.”

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ආචාර්ය සංගම් සභාපති, මහාචාර්ය අර්ජුන පරාක්‍රම මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ, පුළුවන් නම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දේපළ රජයට පවරා ගන්නා ලෙස ජනාධිපතිවරයාට අභියෝග කරන බවයි.
 
“කුඹුරු හාන හරක්ට වගේ කෙවිටක් අරගෙන බය කරලා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් වැඩ ගන්න බැහැ. මේ වනවිට රුපියල් 20,000 ක් හෝ වැටුප් නොලබන ආචාර්යවරුන් විශාල පිරිසක් ඉන්නවා. මම ගන්න වැටුප මගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහාවත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ.”