hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 ජනවාරි 03, පෙ.ව. 12:03



ලංකා IOC සමාගමද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව පෙරේදා (01) උදෑසන සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව සයිනොපෙක් සමාගම ද ඊයේ උදෑසන සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබිණ.

නමුත් නව වසර උදාව හේතුවෙන් එම සමාගම විසින් ඔක්ටේන් 92 සහ ඔටෝ ඩීසල් සඳහා රුපියල් 3ක වට්ටමක් ලබා දී ඇත. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 17කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 363කි. මේ අතර ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 26කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 355කි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා IOC සමාගමේ මිල ගණන් පරිදිම රුපියල් 38කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 464කි. සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 41කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 475ක් ලෙසය.
ජල ගාස්තු 3%කින්

ජල ගාස්තුව සියයට 3කින් පමණ ඉහළ යන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ජනවාරි මාසයේ සිදුවන වැට් බදු සංශෝධනයට අනුව ජල ගාස්තුව ඉහළ නැංවේ.
දුරකථන අන්තර්ජාල
ගාස්තුත් ඉහළට

වැට් බදු වැඩිවීමත් සමග දුරකථන සහ අන්තර්ජාල ගාස්තුද ඉහළ දමා තිබෙන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කරයි. ඒ අනුව, සියයට 15ක්ව පැවැති බදු ප්‍රතිශතය සියයට තුනකින් වැඩිවේ.

පාසල් ප්‍රවාහන ගාස්තු 5%කින්

පාසල් ප්‍රවාහන ගාස්තු ද සියයට තුනත් පහත් අතර ප්‍රතිශතයකින් ඉහළ දැමීමට සිදු වන බව සමස්ත ලංකා පාසල් ළමයින් ප්‍රවාහන සංගමයේ සභාපති මල් ශ්‍රී ද සිල්වා පැවැසීය. පෙබරවාරි මාසයේ දී පාසල් ආරම්භයත් සමග මෙම ගාස්තු සංශෝධන ක්‍රියාත්මක කෙරෙන බවත් සභාපතිවරයා කීවේය.

ත්‍රී රෝද රථ ගාස්තු දෙවැනි කි. මීටරයේ සිට වැඩිවෙයි

පෙට්‍රල් මිල ඉහළ යෑමත් සමග ත්‍රීරෝද රථ ගාස්තු ද ඉහළ දැමීමට පියවර ගන්නා බව ත්‍රීරෝද රථ සංගම් සඳහන් කරයි. ඒ අනුව ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි පළමු කිලෝමීටරය සදහා අය කරන රුපියල් සියයක ගාස්තුව වෙනස් නොකිරීමටත් දෙවන කිලෝමීටරය සදහා අය කළ රුපියල් අසූවක ගාස්තුව රුපියල් සියයක් දක්වා ඉහළ දැමීමටත් පියවර ගන්නා බව එම සංගම් අවධාරණය කර සිටියි.

බත් – තේ – ෂෝටීස් ඔක්කොම ඉහළට

බත් පැකට්ටුවක මිල ද රුපියල් 25කින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා ආපන ශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් පවසයි. ප්ලේන්ටියක මිල රුපියල් 5කින්ද, කිරි තේ එකක මිල රුපියල් 10කින් සහ කෙටි ආහාර එකක් රුපියල් 10කින් ඉහළ දමන බවත් ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු රුපියල් 25කින් ඉහළ දමන බවත් එම සංගමය වැඩි දුරටත් කියයි.
එළවළුත් වැඩි වේ

ප්‍රවාහන ගාස්තු වැඩිවීම නිසා එළවළු මිල ගණන්ද ඉහළ දැමීමට සිදුවන බව එළවළු වෙළෙන්දෝ කියා සිටිති.

දුම්වැටි 5ත් 25ත් අතර

ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටි මිල රුපියල් 05ත් 25ත් අතර මිල ගණන්වලින් වැඩිවී තිබේ. මේ අනුව දුම්වැටියක මිල රුපියල් 05, 15 සහ 25 වැනි ගණන්වලින් ඉහළ දමා ඇතැයි ලංකා දුම්කොළ සමාගම සදහන් කරයි.

ගණන් ඇහුවහම මත්වෙන මත්පැන්

මත්පැන් සඳහා වූ සුරාබද්ද ද ඊයේ සිට වැඩි කර තිබේ. ඒ අනුව මෙරට නිෂ්පාදිත විශේෂ අරක්කු සෑම ලීටරයක් සඳහා පැවැති රුපියල් 6000ක බද්ද රුපියල් 6840 දක්වා ද තල්, පොල් සහ පදම් කළ අරක්කු සෑම ලීටරයක් සඳහාම අය කළ රුපියල් 6,420ක බද්ද රුපියල් 7320 දක්වා ද වැඩි කර ඇත. එමෙන්ම මෙරට නිෂ්පාදනය කෙරෙන විදේශීය ස්ප්‍රීතු ලීටරයකට මෙතෙක් අය කළ රුපියල් 6,600ක බද්ද රුපියල් 7525 දක්වා ද වැඩි කෙරෙන අතර සියයට පහකට වඩා අඩු සැරකින් යුත් ධාන්‍ය මත්පැන් ලීටරයකට අය කළ රුපියල් 4,750ක බද්ද රුපියල් 5415ක් දක්වා ද වැඩි වෙයි. එසේම සියයට පහට වැඩි සැරකින් යුත් ධාන්‍ය මත්පැන් ලීටරයකට මෙතෙක් අය කළ රුපියල් 4,980ක බද්ද රුපියල් 5680ක් දක්වා වැඩි කෙරේ.

පෙදරේරුවකුගේ දිනක වැටුප 4,500යි; වැලි කියුබ් එකක් 38,000යි

වැට් බද්ධ වැඩිවීමට සාපේක්ෂව තම භාණ්ඩ හා සේවා ගාස්තු ඉහළ යෑමෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ සේවා ගාස්තු ඉහළ දැමීම සිදුකරන බව ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන කවුන්සිලයේ සභාපති සුසන්ත ලියනාරච්චි පැවැසීය. ඒ අනුව මෙතෙක් දේශීය ඉදිකිරීම් ව්‍යාපෘතියක් අවසන් කිරීම සඳහා සියයට 20ක් ලෙස පවත්වාගත් ලාභාංශය සියයට 47ක් දක්වා ඉහළ දැමීමට සිදුවනු ඇති බව හෙතෙම ප්‍රකාශ කළේය.

බදු ඉහළ යාමත් සමඟ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත පෙදරේරුවෙකුගේ ගාස්තුව රුපියල් 3500සිට රුපියල් 4500ක් වැනි මුදලක් දක්වා ඉහළ යනු ඇති බව ඔහු පැවැසීය.

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ බලන්ගොඩ වැලි කියුබ් එකක මිල රුපියල් 38,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන කවුන්සිලයේ සභාපති සුසන්ත ලියනාරච්චි පැවැසීය. ඉකුත් දිනවල රුපියල් 27,000කට අළෙවි වූ වැලි කියුබි එකක මිල මෙලෙස රුපියල් 11,000කින් ඉහළ ගොස් ඇති බව හෙතෙම පැවැසීය.

බස් ගාස්තු වැඩි නොවේ

ඩීසල් මිල රුපියල් විසි නවයකින් ඉහළ ගියත් බස් ගාස්තු වැඩි කිරීමක් සිදුනොවන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සඳහන් කරයි. වැඩිවූ රුපියල් 29ක මුදල ප්‍රතිශතයක් ලෙස සියයට 2.1 ක් පෙන්නුම් කරන බවත් ගාස්තු වැඩි කිරීමට නම් සියයට 04ක ප්‍රතිශතයක් ඉක්මවිය යුතු බවත් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ශෂි වෙල්ගම පැවැසීය. ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියේ මිල සූත්‍රයට වැඩිවූ රුපියල් 29ක මුදල ප්‍රතිශතයක් ලෙස ගණනය කිරීමේදි ගාස්තු වැඩි කිරීමට එය ප්‍රමාණවත් අගයක් නොවන බවද සභාපතිවරයා කීවේය.

වැසිකිළි ගාස්තු

ජල බිල්පත් වැඩිවීමත් සමඟ පොදු මහජන වැසිකිළි භාවිතයේදී අයකරනු ලබන ගාස්තුද ඉහළ දමා තිබේ. ඒ අනුව වැසිකිළි භාවිතයේදී මෙතෙක් අයකළ ගාස්තුව රුපියල් දහයකින් ඉහළ දමා තිබේ. ඒ අනුව මීට පෙර රුපියල් 20ක් වූ වැසිකිළි ගාස්තුව දැන් රු. 30ක් වී ඇත.
ආනයනික ආහාර ද්‍රව්‍යවලට බලපෑමක් නැහැ

ඉන්ධන මිල ගණන් ඉහළ ගියද සහල්, ලොකු ළූනු ඇතුළු ආහාර ද්‍රව්‍ය මිල ගණන් ඉහළ යෑමට එය එතරම් බලපෑමක් එල්ල නොකරන බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න පැවැසීය. ඇතැම් අවස්ථාවල ආනයනික ආහාර ද්‍රව්‍යවල මිල ගණන් අඩුවන බැවින් ඉන්ධන මිල ආහාර ද්‍රව්‍ය මිලට බලපෑමක් එල්ල නොකරන බවද ඔහු කීවේය.
කෑලි 5ක දර මිටියක් 100යි

කුඩා දර කැබලි පහක් සහිත දර මිටියක මිලද රුපියල් 100ක් දක්වා වැඩිකර තිබේ. බේකරි නිෂ්පාදන වෙනස් නොවේ.

ඉන්ධන සහ ගෑස් මිල ගණන් සේම වැට් බද්ද සියයට 3කින් ඉහළ ගියද පාන් ඇතුළු බේකරි නිෂ්පාදන ඉහළ නොදමන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන පවසන්නේය. තවදුරටත් බේකරි නිෂ්පාදන ඉහළ දැමුවහොත් නිෂ්පාදන අලෙවිය පහත වැටීම සිදුවන බවද ඔහු කියන්නේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: