hit counter

2026 ජනවාරි මස 05 වන සඳුදා

2026 ජනවාරි 04, පෙ.ව. 12:16



ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි යතුරුපැදි හැට දහසකට අධික‍ සංඛ්‍යාවකට ආදායම් බලපත්‍ර ලබාගැනීම සහ යතුරුපැදි පැවරීම කළ නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අනාවරණය කර තිබෙනවා.

ඒ බස්නාහිර හැර සෙසු පළාත් අටම ආදායම් බලපත්‍ර නිකුත් කිරීම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හා සම්බන්ධ ERL 2 (විද්‍යුත් ආදායම් බලපත්‍ර) පද්ධතිය ඔස්සේ සිදුකිරීම හා යතුරුපැදි හැට දහසක පමණ තොරතුරු එම පද්ධතියේ හෝ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මාර්ගගත පද්ධතියේ නොමැති වීම මත බව සඳහන්.

ඉකුත් 2010 වසරට පෙර යතුරුපදි ලියාපදිංචි කිරීම පමණක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයට අමතරව දිස්ත්‍රික් කාර්යාල මට්ටමින් සිදුකර තිබුණා.

ඒ අනුව එම ලියාපදිංචි කිරීම් සියල්ල දිස්ත්‍රික් මෝටර් වාහන පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය මත අත් අකුරෙන් ලියන ලද ගොනු වශයෙන් සිදු විය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු සඳහන් කළේ, එසේ ලියාපදිංචි කරන ලද යතුරුපැදි අතරින් යතුරුපැදි හැටදහසක පමණ තොරතුරු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මාර්ගගත පද්ධතියට එක් නොකිරීම මීට හේතුවී ඇති බවයි.

එමෙන්ම ඔහු පැවසුවේ මේ වනවිට නාරාහේන්පිට, අනුරාධපුර, කුරුණෑගල, හම්බන්තොට හා යාපනය කාර්යාල මඟින් මාර්ගගතව මෙම යතුරුපැදිවල තොරතුරු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පද්ධතියට එක් කරමින් සිටින බවයි. එසේම තවත් දිස්ත්‍රික් කාර්යාල 10 කට පමණ ඒ සඳහා පරිගණක ලබා දී ඇති බවත් අඳාළ නිලධාරියා පැවසුවා.

මේ අතර ඔහු සඳහන් කළ ලෙස වැඩිම යතුරුපැදි සංඛ්‍යාවක් පද්ධතියට එක්ව නැත්තේ පුත්තලම දිස්ත්‍රික්කයේයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහගෙන් කළ විමසුමකදී සඳහන් කළේ අපගත අන්දමින් ලියාපදිංචි කර ඇති සියලු යතුරුපැදිවල තොරතුරු මාර්ගගතව පද්ධතියට එක් කරමින් පවතින බවයි.

එමෙන්ම මෙය කාලාන්තරයක් තිස්සේ සිදුකර නොමැති බවද මේ වනවිට කඩිනමින් එම යතුරුපැදිවල තොරතුරු පද්ධතියට එක්කරන ලෙසට නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවද ඔහු ප්‍රකාශ කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: