hit counter

2025 ජූලි මස 07 වන සඳුදා

2025 ජූලි 07, ප.ව. 9:13



වාහන ආනයනය සීමා කිරීමට කිසිඳු තීරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි.  

එහි උසස් නිලධාරියෙක් සඳහන් කළේ ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබූ පරිදි වාහන ආනයනය සීමා කිරිම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සහ මහා භාණ්ඩාගාරය කසිදු ලිපි හුවමාරුවක් හෝ සන්නිවේදනයක් සිදුකර නොමැති බවය. 

අර්බුදකාරී තත්ත්වයකට තිබූ මෙරට ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්වීමත් සමග වසර 5කට පසු පෞද්ගලික පරිහරණය සඳහා වාහන ආනයනය කිරීම ඉකුත් පෙබරවාරි පළමුවනදා සිට සිදු කරනු ලැබීය.

එතැන් සිට ජුනි මාසය අවසානය දක්වා මෝටර් රථ 18,000කට ආසන්න සංඛ්‍යාවක් මෙරටට ආනයනය කර තිබේ.

ඒ අතරින් අදාළ කාලසීමාව තුළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති මෝටර් රථ සංඛ්‍යාව 13,614කි.

ඒ අනුව ඉකුත් පෙබරවාරි මාසයේ සිට ගෙවුණු මාස 5 තුළ වාහන ආනයනය කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 800ක ණයවර ලිපි විවෘත කර ඇති අතර මේ වනවිට ඉන් ඩොලර් මිලියන 450ක වටිනාකමකින් යුත් වාහන මෙරටට ආනයනය කර අවසන්ය.

මෙවන් පසුබිමක ඇතැම් මාධ්‍ය අද වාර්තා කර තිබුණේ වාහන ආනයනය සීමා කිරීම සඳහා මහබැංකුව, මහා භාණ්ඩාගාරය වෙත අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවය.

මේ සම්බන්ධයෙන් අද දෙරණ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විමසීමක් කළේය.

එහි උසස් නිලධාරියෙක් සඳහන් කළේ මහා භාණ්ඩාගාරය සහ මහ බැංකුව අතර වාහන ආනයනය සම්බන්ධයෙන් කිසිඳු ලිපි හුවමාරුවක් හෝ සන්නිවේදනයක් සිදුව නොමැති බවය.

එමෙන්ම වාහන ආනයනය සීමා කිරීමට කිසිඳු උපදෙසක් හෝ නිර්දේශයක්ද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහා භාණ්ඩාගාරය වෙත ලබාදී නොමැති බව එම උසස් නිලධාරියා ප්‍රකාශ කළේය.

වාහන ආනයනය කිරීමේදී මහ බැංකුව සතු විදේශ සංචිතවලට කිසිඳු බලපෑමක් සිදුනොවන අතර වාහන ආනයනය කරනු ලබන්නේ මෙරට වාණිජ බැංකු පද්ධතියේ පවතින ඩොලර් සංචිතවලින් බව එම උසස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ වනවිට ශ්‍රී ලංකා මහ බැංකුව සතුව විදෙස් සංචිත ලෙස අමෙරිකානු ඩොලර් බිලියන 6.3ක් පවතින බව මහ බැංකුව පවසයි.

ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ වාහන ආනයනය කිරීමේදී මහ බැංකුව සතු ඩොලර් සංචිතවලට කිසිඳු බලපෑමක් නොමැති බවය.

මෙවන් පසුබිමක මෙරටට ආනයනය කරන රථ වාහනවල වෙළෙඳපොළ වටිනාකම සම්බන්ධයෙන්ද අද දෙරණ සොයා බැලීමක් කළේය.

Suzuki Wagon R FX-S රථයක් ජපානයේ රුපියල් ලක්ෂ 36ක් වන අතර එය මෙරටට ආනයනය කිරීමේදී ලක්ෂ 38ක බදු මුදලක් අය කෙරේ.

ඒ අනුව එම රථය මෙරටට ආනයනය කරන මිල ලක්ෂ 74ක් පමණ වුවත් එය මෙරට තුළ අලෙවි වන්නේ ලක්ෂ 86ක පමණ මිලකට‍ය.

Toyota Raize 1200cc Hybrid රථයක් ජපානයේ ලක්ෂ 74ක් පමණ වනවිට එය මෙරටට ආනයනය කිරීමේදී අය කෙරෙන බදු මුදල රුපියල් ලක්ෂ 64කි.

ඒ අනුව Toyota Raize රථය මෙරටට ආනයනය කරන මිල රුපියල් ලක්ෂ 138ක් පමණ වුවත් එය සැබැවින්ම අලෙවි වන්නේ රුපියල් ලක්ෂ 165 ක් වැනි මිලකටයි.

Honda VEZEL X වර්ගයේ රථයක ජපානයේ මිල ලක්ෂ 88ක් වන අතර එය ආනයනය කිරීමේදී අය කෙරෙන බදු මුදල ලක්ෂ 90කි.

ඒ අනුව VEZEL X වර්ගයේ රථයක් මෙරටට ආනයනය කරන මිල රුපියල් ලක්ෂ 178ක පමණ මිලකට වුවත් සැබැවින්ම එම රථය අලෙවි වන්නේ ලක්ෂ 210ක පමණ මිලකටය.

Toyota Hilux GR Sport වර්ගයේ රථයක තායිලන්තයේ මිල රුපියල් ලක්ෂ 150ක පමණ වනවිට එය මෙරටට ආනයනය කිරීමේදී ලක්ෂ 130ක බදු මුදලක් අය කරයි.

බදුවලින් පසු එම රථය මෙරටට ආනයනය කරන මිල රුපියල් ලක්ෂ 285ක පමණ වුවත් එය අලෙවි වන්නේ රුපියල් ලක්ෂ 320ක් වැනි මිලකටය.

ජපානයේ Toyota Yaris Cross රථයක් රුපියල් ලක්ෂ 65ක පමණ වටිනාකමක් වනවිට එය මෙරටට ආනයනය කිරීමේදී ලක්ෂ 89ක බදු මුදලක් අය කෙරේ.

එම රථය මෙරටට ආනයනය කරන මිල රුපියල් ලක්ෂ 154 ක් වැනි වටිනාකමක පැවතියත් එය අලෙවි කෙරෙන්නේ රුපියල් ලක්ෂ 195ක් වැනි ඉහළ මිලකටය.

Toyota Land Cruiser Prado 250 රථයක නිෂ්පාදිත රටේ වටිනාකම රුපියල් ලක්ෂ 180ක් පමණ වනවිට එය මෙරටට ආනයනය කිරීමේදී රුපියල් කෝටි 4ක පමණ බදු මුදලක් අය කෙරේ.

ඒ අනුව Prado 250 රථයේ මෙරට ආනයනය කරන මිල රුපියල් ලක්ෂ 585ක් වුවත් එය අලෙවි වන්නේ රුපියල් ලක්ෂ 650ක් වැනි මිලකටය.

මේ අතර ආනයනය නීති හා රෙගුලාසි උල්ලංඝනය කරමින් වාහන ආනයනයකරුවන් විසින් මෙරටට ආනයනය කරන ලද වාහන 300ක් පමණ හම්බන්තොට වරායේ රඳවා තබා ඇති බව වාර්තා වෙයි.

මෙම වාහන සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය , ශ්‍රී ලංකා රේගුව සමඟ සාකච්ඡා කර තීරණයක් ගැනීමට නියමිතය.

(උපුටා ගැනීමකි)





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: