hit counter

2025 සැප්‍තැම්‍බර් මස 22 වන සඳුදා

2025 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 9:08



වාහනවල ඉදිරිපස වීදුරුවල අනවශ්‍ය ලෙස නාම පුවරු සහ තනතුරු ප්‍රදර්ශනය කිරීමට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පැහැදිලි කළේ, වාහනයක ඉදිරිපස වීදුරුවේ ඉහළින් පහෙන් එකක (1/5) ප්‍රමාණයක් හිරු එළියෙන් ආරක්ෂා වීම සඳහා අඳුරු පැහැ ගැන්වීමට (tint) අවසර ඇති බවයි. ඊට අමතරව, වාහනයේ ඉදිරිපස වීදුරුවේ ප්‍රදර්ශනය කළ හැක්කේ ආදායම් බලපත්‍රය පමණක් බවද ඔහු අවධාරණය කළේය.

රාජ්‍ය නිලධාරීන් සහ වෙනත් පාර්ශ්ව තම තනතුරු වාහනවල ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් මෙහිදී ප්‍රශ්න කෙරුණ, මනෝජ් රණගල මහතා අවධාරණය කළේ නීතිය සැමට එකසේ ක්‍රියාත්මක වන බවත්, එය උල්ලංඝනය කරන ඕනෑම අයෙකුට එරෙහිව තරාතිරම නොබලා පියවර ගන්නා බවත්ය.