hit counter

2025 ඔක්‍තෝබර් මස 26 වන ඉරිදා

2025 ඔක්‍තෝබර් 27, පෙ.ව. 12:03



රජයේ රෝහල්වල සේවය කරන මුස්ලිම් හෙදියන්ට, දැනට පවතින නීතිමය රාමුව තුළ තම ආගමික හා සංස්කෘතික අනන්‍යතාව ආරක්ෂා වන පරිදි නිල ඇඳුම් ඇඳීමට කිසිදු නෛතික බාධාවක් නොමැති බව විදේශ කටයුතු, සංචාරක අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, මුස්ලිම් සිවිල් සංවිධාන නායකයින් සමග විදේශ කටයුතු අමාත්‍යාංශයේදී 24 පැවැති සාකච්ඡාවකදීය.

මෙම සාකච්ඡාවේදී මුස්ලිම් සිවිල් සංවිධාන නායකයින් ගැටලු කිහිපයක් පිළිබඳව අමාත්‍යවරයාගේ අවධානය යොමු කළේය. ඒ අනුව, මුස්ලිම් හෙදියන් රාජකාරි කිරීමේදී තම සංස්කෘතිය ආරක්ෂා වන පරිදි නිල ඇඳුම් ඇඳීමේදී මතුව ඇති ගැටලු, කොවිඩ් වසංගත සමයේ හඳුන්වා දුන් මඟපෙන්වීම් හේතුවෙන් මුස්ලිම් බැතිමතුන්ගේ මෘත දේහ සඳහා අවසන් කටයුතු සිදුකිරීමේදී ඇතිවන ප්‍රමාදය කෙරෙහි අවදානය යොමුවිය.

එහිදි අමාත්‍ය විජිත හේරත් පෙන්වා දුන්නේ, හෙදියන් රාජකාරි කිරීමේදී පවතින නීතිමය රාමුව තුළ තම සංස්කෘතිය ආරක්ෂා වන පරිදි ඇඳුම් ඇඳීමට කිසිදු නෛතික බාධාවක් නොමැති බවයි.
එමෙන්ම, මරණ සම්බන්ධයෙන් වූ ගැටලුවට විසඳුම් ලබා දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, කොවිඩ් වසංගතයට පෙර පැවති ආකාරයටම අවසන් කටයුතු කිරීමට අදාළ චක්‍රලේඛ දැනටමත් නිකුත් කර ඇති බවය.

මෙම හමුව සඳහා නියෝජ්‍ය කථානායක රිස්වි සාලි, අමාත්‍ය සුනිල් සෙනෙවි, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මුනීර් මුලෆ්ෆර් සහ අර්කම් ඉලියාස් ඇතුළු දේශපාලන නායකයින් පිරිසක් සහභාගි වූහ.

සිවිල් සංවිධාන පාර්ශවය නියෝජනය කරමින් මවුලවිවරුන් සහ සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය ඇතුළු සංවිධාන 15ක නියෝජිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: