hit counter

2025 පෙබරවාරි මස 27 වන බ්‍රහස්පතින්දා

2025 පෙබරවාරි 27, පෙ.ව. 12:06



පවතින වියළි කාලගුණයත් සමග දිවයිනේ ප්‍රදේශ රැසක ජල සැපයුමට බාධා එල්ල වී තිබෙනවා.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් ක‍ළේ කොළඹ, කළුතර, රත්නපුර, මාතර සහ මහනුවර යන ප්‍රදේශවල ජල සැපයුමට බාධා එල්ල වී ඇති බවයි.

වියළි කාලගුණයත් සමග ජල මුලාශයන් වල ජල මට්ටම් සීඝ්‍රයෙන් පහළ බසින බව සඳහන් වනවා.

මේ දිනවල ජල පරිභෝජනය ඉහළ ගොස් ඇති අතර ජල සැපයුම සීමා සහිත බැවින් වාහන සේදීම, ගෙවතු වගා වැනි කටයුතු සඳහා ජලය භාවිතා කිරීම අවමකොට අරපිරිස්මෙන් භාවිතා කරන ලෙස  ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ජල සැපයුමට බාධා එල්ලවී ඇති ප්‍රදේශ වල ඇතැම් පාරිභෝගිකයින් සඳහා බවුසර් මගින් ජලය ලබා දීමට මේ වන විට කටයුතු කරන බවද  ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

මේ අතර ලංකා විදුලි බල මණ්ඩලය පවසන්නේ, වියළි කාලගුණයත් සමග විදුලි නිෂ්පාදන පිරිවැය ද ඉහළ ගොස් ඇති බවයි.

ඒ අනුව තාප විදුලි බලාගාර හා දැවි තෙල් බලාගාර වැඩි වශයෙන් ක්‍රියාත්මක කිරීමට සිදුව ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා සදහන් කළා.

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය මෙගාවෝට් 900ක උපරිම ධාරිතාවයකින් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති අතර කැලණි තිස්ස ‘‘ නැප්තා‘‘ බලාගාරය සහ සපුගස්කන්ද දැවිතෙල් බලාගාරය ද මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා.

ජල විදුලි බලාගාර තුළින් දිවා කාලයේ දී සමස්ත විදුලි ජනනයෙන් 20%ක් සහ රාත්‍රී කාලයේ දී 40%ක් ලබා ගන්නා බව  ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා සඳහන් කළා.

එමෙන්ම සුර්ය බලාගාර වලින් දිවා කාලයේ දී වැඩි විදුලි ජනන අවස්ථාවක් පවතින බව ද ඔහු පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: