hit counter

2025 ජූනි මස 01 වන ඉරිදා

2023 ජූලි 16, පෙ.ව. 1:01



ජල ගාස්තු සංශෝධනයකට අවසර ඉල්ලා ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩල වෙත ඉදිරිපත් කර තිබෙනවා.

කෙසේ නමුත් ඊට මෙතෙක් අනුමැතියක් හිමිව නොමැති බවයි වාර්තා වන්නේ.

එය සළකා බැලීම පසුවට කල් දමා ඇති බව සඳහන්.

ජල ගාස්තු සංශෝධන සකස් කිරීමේදී මෙහෙයුම් පිරිවැය පමණක් පියවා ගැනීම සහ ජාතික ජල සම්පාදන මණ්ඩලයේ ණය සේවාකරණය පියවා ගැනීම යන ක්‍රමවේද දෙක සැලකිල්ලට ගනිමින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.

මේ සංශෝධනයේ දී සමෘද්ධිලාභීන්, සමෘද්ධි නොවන එදිනෙදා වැඩ කරන සහ වතු කම්කරුවන්ට ගාස්තු ඉහළ නැංවීමක් යෝජනා කර නැහැ.

කෙසේ නමුත් ගෘහස්ථ සහ මලඅපවහන යන අංශ දෙකෙහි සංශෝධනයක් සිදුකිරීමට යෝජනා කර ඇති බව සඳහන්.

මෙහිදී ගෘහස්ථව අඩු ජල ප්‍රමාණයක් පරිභෝජනය කරන පාරිභෝගිකයන්ට ඒකකයක පිරිවැයෙන් 20% සහනාධාරයක් ලබාදීමට යෝජනා වී තිබෙනවා.

තවද එවැනි පාරිභෝගිකයන්ගේ මාසික බිල්පත රුපියල් 1000කට වඩා අඩු කිරීමට ද සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

ගාස්තු සංශෝධනය කඩිනමින් ක්‍රියාත්මක කිරීමෙන් රුපියල් බිලියන 7ක මාසික ආදායමක් ලබා ගැනීමට එම මණ්ඩලය අපේක්ෂා කරනවා.

මෙලෙස ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට හේතුව ලෙස ජල සම්පාදන මණ්ඩලය පෙන්වා දෙන්නේ විදුලි ගාස්තු සංශෝධනය සමඟින් නිෂ්පාදන පිරිවැය ඉහළ යාමයි.

ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ පත්‍රිකාවේ ජල ගාස්තු ප්‍රතිපත්තියක් ලෙස ජල ගාස්තු සුත්‍රයක් සකස් කිරීමට ද ඇමති මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා තිබෙනවා.

ගත වූ වසර 10ක කාලය තුළ සහනාධාර ගාස්තු ක්‍රමයක් ක්‍රියාත්මක වූ අතර එමඟින් වාර්ෂිකව මණ්ඩලයට රුපියල් බිලියන 8ක පාඩුවක් සිදුව ඇති බව වාර්තා වනවා.

මේ අතර පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී ජල ගාස්තු සංශෝධනය කරනු ලැබුවා.