hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ජූනි 10, පෙ.ව. 12:03



නිරිත දිග මෝසම දිවයින හරහා සම්පුර්ණයෙන්ම ස්ථාපිත වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව අද (10) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

සබරගමුව පළාතේත් ගාල්ල, මාතර, කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මි. 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැකියි.

වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවන අතර ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවද සඳහන්.

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට, පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-45 ක පමණ තද සුළං ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.