hit counter

2024 සැප්‍තැම්‍බර් මස 19 වන බ්‍රහස්පතින්දා

2024 සැප්‍තැම්‍බර් 14, ප.ව. 5:31



බැංකු හා මූල්‍ය ක්‍ෂේත්‍රයේ අවදානමක් ඇති වේවි යැයි විවිධ අසත්‍ය ප්‍රචාර යවමින් සිටින බව ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ ප්‍රධානී මහාචාර්ය අනිල් ජයන්ත පැවසීය.

හෙතෙම මෙලෙස පැවසුවේ ඊයේ (13) පැවති ජාතික ජන බලවේගයේ බැංකු හා මූල්‍ය සංසදයේ මාධ්‍ය හමුවේ දී ය.

අසත්‍ය සහ විකෘති කරුණු

‘‘එළැඹෙන විසි එක්වැනිදා ලංකා ඉතිහාසයේ තීරණාත්මකම ජනාධිපතිවරණයක් පවත්වන බව අපි කවුරුත් දන්නවා. මේ වන තුරු දූෂිත සහ වංචාකාරී පාලන තන්ත්‍රයක් ගෙන ගිය පිරිසගෙන් මහජනතාවගේ පාලනයක් පිහිටුවා ගන්න නොඉවසිල්ලෙන් ඉන්නවා. ඒ සම්බන්ධයෙන් මෙතෙක් රට පාලනය කළ පිරිස් කලබල වී මහජනතාව අතරේ අසත්‍ය, විකෘති කරුණු බොහොමයක් ප්‍රචාරය කරමින්, අනියත බියක් ඇති කිරීමට උත්සාහ කරනවා. විශේෂයෙන්ම බැංකු හා මූල්‍ය ක්‍ෂේත්‍රයේ අවදානමක් ඇති වේවි යැයි විවිධ අසත්‍ය ප්‍රචාර යවමින් සිටිනවා.

හිතාමතාම ආර්ථිකය විනාශ කර මහජනතාවගේ ජීවිත උදුරා ගත් අය දැන් අසත්‍ය ප්‍රචාර යවමින් සිටිනවා. ඔවුන්ගේ උපක්‍රමය වී තිබෙන්නේම මහජනතාව තුළ බිය නිර්මාණය කර මහජනතාව රවටා බලය අත්පත් කර ගැනීමයි. ඒ හමුවේ ඉවසීමෙන් සහ අනවශ්‍ය කලබලවලින් තොරව කටයුතු කරන ලෙස මහජනතාවගෙන් විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා. වෙළෙඳපොළ ආර්ථිකය තුළ භාණ්ඩ හිඟයක් කිසිසේත්ම ඇති වන්නේ නැහැ. මහජනතාවගේ ජීවිත මෙයට වඩා පහසු කරන්න වෙළෙඳපොළ කළමනාකරණය කිරීමේ සැලසුම් අප සකස් කර තිබෙනවා. ඇතැම් කණ්ඩායම් හිතාමතා නිර්මාණය කරන වාර්තා, ප්‍රවෘත්ති ලෙස ප්‍රචාරය කරන බව අවධාරණය කරනවා.