hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 ජූලි 04, පෙ.ව. 10:02



අරගලයට  මුහුණ දෙන්නට පුළුවන් හොඳම නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ව්‍යවස්ථ ානුකූලව රටේ ජනාධිපතිවරයා ලෙස අප තෝරා පත්කර ගත්තත් සමහර තීන්දු තීරණවලදී අපේ ප්‍රතිපත්ති සමඟ යම් වෙනසක් තියෙනවා. අපි පොදුජන පෙරමුණ හැටියට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර අපේ දේශපාලන දර්ශනය රජය තුළ ආරක්ෂා කරගෙන ජනතාවාදී ප්‍රතිපත්ති ආරක්ෂා කරගැනීම සඳහා වගකීමෙන් යුතුව ක්‍රියා කරන්නේ යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා ගාල්ලේදී පැවැසුවා.

ඒ මහතා මෙසේ පැවසුවේ ගාල්ල දඩල්ල මිනෝරි හෝටලයේ පැවැති ගාල්ල ආසන බල මණ්ඩල රැස්වීම අමතමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා,

“අපි දන්නවා රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන පක්ෂය අනුව එතුමාගේ දේශපාලන දැක්ම ඉහළ මධ්‍යම පන්තියට ගැළපෙන, ධනේශ්වර පන්තියට ගැළපෙන දේශපාලන දර්ශනයක්. එතුමාගේ දේශපාලන පක්ෂය ගොඩනැඟුණේ ධනේශ්වර පන්තියත් එක්ක. එහෙම නැතුව අපි නියෝජනය කරන, අපි වැඩ කරන දේශපාලන පක්ෂ එක්ක නොවෙයි. ඒ නිසා පොදුජන පෙරමුණේ වර්තමාන වගකීම වන්නේ එතුමා ආර්ථික වර්ධනය සඳහා ගන්නා තීන්දු තීරණවලදී ඒවා ජනතාවාදී තීන්දු තීරණ බවට පරිවර්තනය කිරීම හා ඒ සඳහා පක්ෂයක් වශයෙන් අභ්‍යන්තරයේ සටන් කර ඒ සඳහා පෙනී සිටිනවා” යැයිද ඒ මහතා පැවැසුවා.

“එදා විදුලි කැපිල්ල තුළ පැය ‍ෙදාළහ පහළොහක්, තෙල් පෝලිම්වල, ගෑස් පෝලිම්වල සිටීම නිසා මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕන කියන පිරිසක් එළියට ආවා. අපි ඒක නෑ කියන්නේ නෑ. හැබැයි ඒක යට දේශපාලන වාසි ලබා ගැනීමට යම් පිරිසක් සිටියා.අද අපි දන්නව අරගල භූමියේ සිටි අය අද කොතැනද ඉන්නේ කියා. සමහරු වර්තමාන ජනාධිපතිතුමාගේ කාර්යාලයේ. තවත් සමහරු සජිත් මහත්තයාගේ වේදිකාවේ. තවත් අය අනුර කුමාර මහතාගේ වේදිකාවේ. තවත් අය චම්පිකගේ ළඟ. තව පිරිසක් පෙරටුගාමීන් සමඟ. නිර්පාක්ෂික යැයි කියාපු අය මෙහෙම අයින් වුණාම අවංකවම අරගල කරපු අය අද හොයාගන්නවත් නැතැ”යිද ඒ මහතා සඳහන් කළා.

“වර්තමානයේදී රටේම වී ගන්නේ කිලෝවක් රුපියල් හැටට. පසුගියදා අනුරාධපුරයේදී මාමා කෙනකු මට කීවේ පුතේ වී කිලෝ එකක් හැටයි, බුලත් විටත් හැටයි කියලයි. ඉතින් බලන්න බුලත් විටක් ගන්න ගාණට තමයි වී කිලෝ එකකුත් ගන්නේ. ඉතින් කොහොමද ගොවියකු තමන්ගේ දරු මල්ලන් බලා කියාගෙන තුන් වේලම කාල ජීවත් වන්නේ. ඒක අභියෝගයක් නෙවෙයිද? ධීවරයා ගන්න. තියෙන තෙල් මිලත් එක්ක මුහුදු ගිහිල්ල අල්ලන් එන මාළු ටික කීයට විකුණන්නද.  කවුද මේ මාළු මේ මිලට ගන්නේ.

මාළු විකිණෙන්නෙත් නෑ. සල්ලිත් නෑ. මේ වන විට තවත් අභියෝගයක් ඇවිල්ල. ඒ තමයි අස්වැසිල්ල අස්වැසුම හරහා කෙටි කලකට දීමනාවක් පමණයි දෙන්න හදන්නේ. සමෘද්ධි බැංකු ඇති කරලා ඒ අයගේ මරණයට මඟුලට දුකට සැපට පිහිට වෙන සමාජමය ව්‍යාපෘතියක් තමයි සමෘද්ධිය කියන්නේ. එදා එහි ලක්ෂ දාහතක් හිටියා. අද අස්වැසුම තුළ ඇත්තේ ලකෂ විසි එකයි. එතනත් දෙන්න ඕන අයට ලැබිලා නෑ. දීගෙන ආපු අයට කැපිල. නොලැබිය යුතු අයට යම් දේශපාලන හේතු මත යම් කාරණා නිසා ලැබිලා.  මෙතැන යම් ප්‍රශ්නයක් තියෙනවා. ලක්ෂ 17 විසි එකක් වුණාට ලැබිය යුතු අයට නොලැබීමත් දිගින් දිගටම ලැබිය යුතුව ලැබෙමින් තිබුණු අයට නොලැබීමත් අපි දකිනවා. මෙම ක්‍රියාවලියේදී එක්කෝ හුදෙක් මෙහි යම් දේශපාලන අරමුණක් තියෙනවා” යැයිද ඒ මහතා පැවැසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: