hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2022 නොවැම්‍බර් 22, පෙ.ව. 11:21



එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතෙහි දුරකථන බිල්පත ලෙස රුපියල් හාරලක්ෂ හතළිස් හයදහසක මුදල මෙතෙක් ගෙවා නොමැති බවට ටෙලිකොම් වෘත්තිය සමිති නියෝජිතයන් පවසනවා.

ඔවුන් මෙම අනාවරණය සිදු කෙළේ කොළඹ ගුරු මැදුර ශාලාවේදී ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකදීයි.

“රජයට ආදායම් ලබා දෙන ටෙලිකොම් ආයතනය විකිණීම වහා නවතනු” මැයෙන් ටෙලිකොම් වෘත්තිය සමිති නියෝජිතයන් කොළඹ ගුරු මැදුර ශාලාවේදී ඊයේ (21) මාධ්‍ය හමුවක් පැවැත්වුවා.

එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ටෙලිකොම් වෘත්තිය සමිතියේ සභාපති හේමන්ත නෙත්තිකුමාර ප්‍රකාශ කළේ අන්තර්ජාල ගාස්තු ලෙස රුපියල් තුන්ලක්ෂ පනස්පන්දහසක්ද, දුරකථන ඇමතුම් ගාස්තු ලෙස රුපියල් අනුඑක්දහසක මුදලක්ද හිඟ බිල්පත් ලෙස පවතින බවයි.

මෙම හිඟ මුදල 2016 වසරේ සිට මේ දක්වා ගෙවා නොමැති බවත් අවස්ථා කිහිපයකදීම මෙම හිඟ බිල්පත් ගෙවන ලෙස දැනුම් දුන්නද මෙතෙක් ඒවා ගෙවා දැමීමට පියවර ගෙන නොමැති බවත් සභාපතිවරයා සඳහන් කළා.

එම නිසා ටෙලිකොම් ආයතනය විකිණීමට පෙර සිය පක්ෂ මූලස්ථානයේ දුරකථන බිල්පත් ගෙවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කරන්නේ නම් ඉතා යහපත් බවද හෙතෙම අවධාරණය කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: