hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2023 අගෝස්‍තු 14, ප.ව. 3:24



තරග පාවා දීමට ක්‍රීඩකයින් පෙළඹවීම සම්බන්ධයෙන් සැක කෙරෙන ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකගේ විදේශ ගමන් තහනම් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කළා.

ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැලැක්වීමේ විශේෂ පොලිස් ඒකකය වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා විසින් කළ ඉල්ලීමක් පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අයි.එන්. රිස්වාන් මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2020 වසරේ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග පාවා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වූ බව සඳහන් කළා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සහ ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යාංශය හරහා මෙම විමර්ශන සිදු කෙරෙනු බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා එහිදී තරග පාවාදීමේ ක්‍රියාවලියට සම්බන්ධ ජාත්‍යන්තර ජාවාරම්කරුවන් ජාලයක් පිලිබඳ තොරතුරු අනාවරණය වී ඇතැයිද සඳහන් කළා.

හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ද එම ජාලයට සම්බන්ධ වී කටයුතු කර ඇතැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මෙම ක්‍රීඩකයා සෙසු ක්‍රීඩකයින්ට “අඩුවෙන් ක්‍රීඩා කිරීම” සඳහා මුදල් ලබාදීමට යෝජනා කර ඇතැයිද කියා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සචිත්‍ර සේනානායකගේ විදේශ ගමන් මාස 3ක කාලයක් සඳහා අත්හිටුවමින් ආගමන හා විගමන පාලකවරයා වෙත නියෝගයක් නිකුත් කළා.

මෙම පැමිණිල්ල ඔක්තෝබර් මස 16 වැනිදා කැඳවීමට ද නියමිතයි.