hit counter

2024 ජූලි මස 02 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 02, පෙ.ව. 12:52



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සහ ක්‍රීඩා අමාත්‍යංශය අතර සම්බන්ධීකරණ සදහා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පත් කරන ලද ත්‍රිපුද්ගල කමිටුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් අදාළ පත් කිරීම ICCය විසින් පිළිනොගන්නා බව දැනුම් දී තිබෙනවා.

ICCය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග පමණක් තමන් කටයුතු කරන බවත්, ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කළ සම්බන්ධීකරණ කමිටුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුමැතිය ලබා ගන්නා ලෙසයි.

මේ සම්බන්ධයෙන් යළි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වෙත ලිපියක් යොමු කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා පවසන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා නිතීය අනුව සෑම ක්‍රීඩා සංගමයක්ම අධීක්ෂණය කිරීමේ බලය තමන් වෙත ලැබී තිබෙන බවයි.

ජාතික විගණන දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් සිදු කරන ලද විගණන වාර්තා ඇතුළත් කරුණු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත නිවැරදි ලෙස සන්නිවේදන කිරීම මෙම කමිටුවේ ප්‍රධාන අරමුණ බවත් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ICCය වෙත නිකුත් කළ ලිපියේ සදහන්.

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කළ මෙම සම්බන්ධීකරණ කමිටුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරුන් දෙදෙනෙකු වන උපාලි ධර්මදාස හා සිදත් වෙත්තමුණි සහ රඛිත රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළත් වනවා.

ICCය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්වාධීනව දේශපාලනික බලපෑම්වලින් තොරව කටයුතු කර ගෙන යෑමට ඉඩ ලබා දෙන ලෙසයි.

ඊට ප්‍රතිචාර දක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා පවසන්නේ තමන් කිසි ලෙසකින්වත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට අත නොදමන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ICCයට දැනුවත් කිරීමට අවශ්‍ය බවයි.