hit counter

2025 අප්‍රේල් මස 21 වන සඳුදා

2024 අප්‍රේල් 17, පෙ.ව. 10:43



මෙවර ආසියානු මල්ලවපොර ශූරතා තරගාවලියේ කාන්තා කිලෝ ග්‍රෑම් 53 බර පංතියෙන් තරග වැදුණු ශ්‍රී ලංකාවේ නෙත්මි අහිංසාට එම බර පංතියේ ලෝකඩ පදක්කම, තියුණු සටනකින් අනතුරුව අහිමි විය.

ඒ අනුව මෙවර ආසියානු මල්ලවපොර ශූරතා තරගාවලියේ කාන්තා කිලෝ ග්‍රෑම් 53 බර පංතියේ ලෝකඩ පදක්කම සඳහා වූ තරගයට නෙත්මි පසුගියදා සුදුසුකම් ලබා ගත්තාය.

එය වාර්තා අතරට එක්වූයේ ආසියානු මල්ලවපොර තරගාවලියක ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් දැක්වූ ඉහළම දස්කම ලෙසිනි.

කිරිගිස්තානයේදී පැවැති මෙම තරගාවලියේ කි.ග්‍රෑ. 53 බර පංතියේ ලෝකඩ පදක්කම සඳහා වූ අවසන් තරගයට නෙත්මි සමගින් හිටපු ආසියානු ශූරියක වන චීනයේ චුන් ලෙයි සුදුසුකම් ලබා තිබිණි.

කෙසේ වෙතත් විනාඩි 6ක් පුරා පැවැති මෙම තරගයේදී, අත්දැකීම් බහුල චීන ක්‍රීඩිකාවට නෙත්මි එල්ල කළ අභියෝගය ක්‍රීඩා විචාරකයන්ගේ පැසසුමට ලක් වීම ද කැපී පෙනිණි.

නමුත් අවසානයේදී ලකුණු 2-0ක් ලෙසින් තියුණු ජයක් වාර්තා කර ගැනීමට චීන ක්‍රීඩිකාවට හැකියාව ලැබිණි.