hit counter

2024 ජූනි මස 30 වන ඉරිදා

2023 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 11:34



තරග පාවා දීමට බලපෑම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ලබන 25 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකාර සචිත්‍ර සේනානායක ද අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණා.

විමර්ශන සිදු කරණ ක්‍රීඩා දූෂණ විමර්ශන ඒකකය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සදහන් කළේ සැකකාර සචිත්‍ර සේනානායක විමර්ශන නිලධාරින් නොමග යාවා තිබෙන බවත්, මෙම විමර්ශනයට සහය නොදී ඇති බවයි.

දුරකථන ලබා දෙන ලෙස ඉල්ලීම් කලත් ඒවා ලබා දුන්නේ නෑ. විමර්ශනවලට අවශ්‍ය එක් දුරකථනයක් මුරුසි දූපත්වල දී ඔරු පදින අවස්ථාවේ ජලයට වැටුණු බව සැකකරු සඳහන් කළා. මේ සම්බන්ධයෙන් එම අවස්ථාවේ එහි සිටි අජන්ත මෙන්ඩිස්, චාමර කපුගෙදර, රජීව් විජේසිංහ යන අයගෙන් ප්‍රශ්න කළා. ඔවුන් කියා සිටියා එවැනි දෙයක් සිදු වූ බවට සැකකරු තමන්ට නොකියූ බව.

මේ සැකකරු පළපුරුදු අපරාධකරුවකුට වඩා තෙම්පරාදු වෙච්ච චරිතයක් බව මෙයින් පෙනී යනවා. විමර්ශන නිලධාරීන් මුලාකොට නොමඟ යැවීමට කටයුතු කර තිබෙනවා. ඒ වගේම තරග පාවාදීම සම්බන්ධයෙන් විදේශයක සිට තරිඳු රත්නායක සහ ධම්මික ප්‍රසාද් යන ක්‍රීඩකයන් දෙදෙනාට දුරකතනයෙන් කතා කළ ෂහීඩි සහ ස්ටැබී යන පුද්ගලයින් සම්බන්ධයෙනුත් විමර්ශන සිදු කරනවා.”යනුවෙන් ප්‍රකාශ කළ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා මෙම තරග පාවාදීමේ ජාලයට විශාල පුද්ගලයින් පිරිසක් සම්බන්ධ වී සිටින බවත් ඔවුන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවත් කියා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.

එමෙන්ම සැකකාර සචිත්‍ර සේනානායක ගෙන් ලබන 19 වනදා ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අවසර දෙන ලෙසත් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් බන්ධනාගාර බලධාරීන්ට නිකුත් කළ නියෝගයේ සඳහන් වුණා.