2025 අප්‍රේල් 07, පෙ.ව. 12:13
ඉන්දියාව සමග අත්සන් කරන ආරක්ෂක ගිවිසුම් හේතුවෙන් ශ්‍රී ලංකාව ඉන්දියන් සාගර බල අරගලයේ පාර්ශවකරුවකු බවට පත් විය හැකි බවත්., එය අනාගතයේ ගැටුම්කාරී තත්ත්වයන්ට මග පෑදිය හැකි බවත්, මාතලේ, නාඋල ප්‍රදේශයේ දී ඊයේ (06) මාධ්‍ය අමතමින් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේ ය.
ප්‍රශ්නය: පහුගිය කාලේ මේ වෙන කොට නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීම ඇතුළු කාරණා ඔබ දකින්නේ කොහොමද මේ වෙනස්වීම මේ ආණ්ඩුවෙ අයගෙ?
පිළිතුර: ඇත්ත වශයෙන් ම එක පැත්තකින් සතුටුයි. තව පැත්තකින් කණගාටුයි. සතුටුයි මේ ලෝකයේ විශේෂයෙන්ම ඉන්දියාව අපේ අසල්වැසියා විතරක් නෙවෙයි අපේ ඥාතියා, විශාල ආර්ථිකයක් අද ලෝකයේ ඒ සම්බන්ධයෙන් යථාර්ථවාදී ව කල්පනා කරන්න පෙලඹීම ගැන සතුටුයි. ඒ වගේ ම කනගාටු වෙනවා ඔවුන් ඉන්දියානු විරෝධී කැරැල්ලක් මේ රටේ දියත් කළා. ඒ වෙලාවේ ඇතිවෙලා තිබිච්ච ඒ තත්ත්වයන් එක්ක. ඒ කැරැල්ලේ දී ඉතා ම අයුක්ති සහගත විදිහට 6600 ක් ජනතා විමුක්ති පෙරමුණ විසින් ඝාතනය කළා. ඒ කැරැල්ල මර්දනය කරන්නත් 66,000 ක් මියගියා. ඒ කරපු කාරණය සම්බන්ධයෙන් තමන් ඒ ගත්ත සන්නද්ධ ක්‍රියාමාර්ගය. ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධ වීම කිසිම ගැටළුවක් නෑ. අපිත් විරුද්ධ වුනා. අපි අදටත් විරුද්ධයි. නමුත් ඒ සන්නද්ධ ක්‍රියාදාමයේ මියගිය අයට සිදු වෙච්ච ඒ ව්‍යසනය සම්බන්ධයෙන් කිසිම සමාව අයැදීමක් තාම ජාතියෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක සිදු නො කිරීම ගැන අපි ඉතා ම කනගාටුවට පත් වෙනවා.
තවදුරටත් අදහස් දක්වමින් රණවක මහතා, වත්මන් රජය ඉන්දියාව සමඟ අත්සන් කිරීමට නියමිත ගිවිසුම් සම්බන්ධයෙන් ද සිය විරෝධය පළ කළේය. අනුර දිසානායක මහතා ඇතුළු වත්මන් ආණ්ඩුවේ ප්‍රධානීන් මීට පෙර මෙම ගිවිසුම් දැඩි ලෙස විවේචනය කළ බවත්, බලය ඉදිරියේ ඔවුන්ගේ ප්‍රතිපත්ති වෙනස් වී ඇති බවත් ඔහු චෝදනා කළේය.
” මේ ඉන්දියාවත් එක්ක මේ අත්සන් කරන ලද ගිවිසුම් හය මේවා රනිල් වික්‍රමසිංහ මහත්මයා අත්සන් කරන සාකච්ඡා කරන කාලේ මේවට විශාල වශයෙන් රටේ විරෝධතාව පැන නැගපු කට්ටියක් තමයි අනුර දිසානායක මහත්තයා, විජිත හේරත් මහත්මයා, නලින්ද ජයතිස්ස මහත්තයලා, මහ විශාල විරෝධයක් රට තුළ ගොනු කරපු කට්ටියක්. ඉතින් ඒගොල්ලන්ගේ මේ ක්‍රියාවලිය, මේ අංශක 180 හැරිල කරන ක්‍රියාවලිය තුළ පේන්නේ, බලය ඉදිරියේ තමන්ට ප්‍රතිපත්ති නැහැ කියන එක. ඉතින් ඒක හින්දා මහා ශුද්ධ වූ ප්‍රතිපත්ති ගැන කතා කළාට, බලය ඉදිරියේ ප්‍රතිපත්ති පාවා දෙන්න ඕනෑම විදියකට සූදානම් කියලා අපිට පේනවා. අනෙක් කාලෙකදි බලය ඉදිරියේ ඉන්දියාව විරෝධී වෙන්න වුනත් පුළුවන්. ඒ වගේම මේ ගිවිසුම් හය ගහලා තියෙන්නේ ජාතික ජන බලවේගයයි, භාරතීය ජනතා පක්ෂයයි අතර නෙවෙයි. මේ ගිවිසුම් හය ගහලා තියෙන්නේ ඉන්දියාවයි, ලංකාවයි අතර. ඒකට අනාගතයේ ඉන්න පරම්පරාවලටත් මේකට දායක වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේ ම ඒ නිසාම මේ ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු ව තිබුණා. විපක්ෂයේ පක්ෂත් එක්ක සාකච්ඡා කළ යුතු ව තිබුණා. ඒ සියලු දෙනාගේ එකඟතාවෙන් රටක් හැටියට, අනුර දිසානායක මහත්තයාට මේ ගිවිසුම් අත්සන් කරන්න තිබුණා. ඒ වෙනුවට, පුද්ගලික කැමැත්ත මත පුද්ගලික උවමනාව මත ජනාධිපති ධුරය අවභාවිතා කරමින් තමයි මේක කරලා තියෙන්නේ. ඔය ජනාධිපති ධුරය ඔය වගේ කාරණා සම්බන්ධයෙන් අවභාවිතා කිරීම ගැන විශාල වශයෙන් හඬ නගපු පක්ෂයක්. ඒ ජනාධිපති ධූරයේ බලය අවභාවිතා කරලා තියෙනවා. ජේ ආර් ජයවර්ධන කළා වගේ ම, අනුර දිසානායක මහත්තයාත් මේ සම්බන්ධයෙන්. ඒ වගේම අපේ ව්‍යවස්ථාවේ 157 වෙනි වගන්තියට අනුව, මේක නීත්‍යනුකූල ලියවිල්ලක් වෙන්න නම්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත විය යුතු ව තියෙනවා.”
ආරක්ෂක ගිවිසුම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් රණවක මහතා කියා සිටියේ, එවැනි ගිවිසුම් හේතුවෙන් ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ බල අරගලයේ පාර්ශව කරුවෙකු බවට පත්විය හැකි බවත්, එය අනාගතයේ ගැටුම්කාරී තත්ත්වයන්ට මග පෑදිය හැකි බවත්ය. හැත්තෑ හතේ සිට අනුගමනය කළ වැරදි විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් රට දීර්ඝ කාලීන යුද්ධයකට මුහුණ දුන් බවත් ඔහු සිහිපත් කළේය.
“විශේෂයෙන්ම වහාම මේ ආරක්ෂක ගිවිසුම යටතේ ලංකාව මේ ඉන්දියන් සාගරයේ කිසියම් පාර්ශවයක් පැත්තට ඇදිලා ගියොත් අනිත් පාර්ශව වලින් අපට ගැටුම්කාරී තත්වයක් ඇති වෙන්න පුළුවන්. ජයවර්ධන ජනාධිපතිතුමාටත් වුණේ ඒකයි. හැත්තෑ හතේ ඉදන් ඇමරිකා එක්සත් ජනපදයේ පැත්ත ගන්න ගිහිල්ලා ඉන්දියාවේ ප්‍රතිප්‍රහාරයට ලක් වීම. ඒකෙන් අවුරුදු තිහක දිගු කාලීන යුද්ධයකට රට කොටු වුනා. අති විශාල මිනිස්සු පිරිසක් මිය ගියා. රටේ ආර්ථිකය අප්‍රමාණ හානි සිද්ධ වුනා. අතිවිශාල පිරිසක් රටින් පලා යන්න සිද්ධ වුනා. ඒ වේදනා ගැන කතා කරලා වැඩක් නැහැ ඒ විදේශ ප්‍රතිපත්තියේ ඇති වෙච්ච ගැටුම. විශේෂයෙන්ම ඉන්දිරා ගාන්ධි මැතිණියත් එක්ක හදාගත්ත ප්‍රශ්නෙ. ඉතින් ඒක මහා ගැටුමක් බවට පත් වෙලා අවසානයේ දෙපාර්ශවයේ ම ජනාධිපතිවරු ඝාතනය වුනා. ඉන්දීය අගමැති ධුරය අපේක්ෂා කරපු රජීව් ගාන්ධි ඝාතනය වුනා. රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ඝාතනය වුනා. මහා යුද්ධයකට අපි ගමන් කළේ ඉන්දියාවේ ඒ ක්‍රියාවලිය නිසා. ඒ වැරදි විදේශ ප්‍රතිපත්තිය නිසා. ඒ වගේම අපි මතක තියා ගන්න ඕන අද මේ කලාපයේ ඇමරිකා එක්සත් ජනපදය, චීනය හා ඉන්දියාව අතර විශාල අරගලයක් සිද්ධ වෙනවා මේ මහ මුහුදේ. ඒ මහ මුහුදේ අරගලය ඒගොල්ලන්ට කර ගන්න දීලා, ලංකාව ස්වාධීනව ඉන්නයි වෙන්නේ. දැන් එක්සත් ජනපදයත් ගිවිසුමක් අත්සන් කරන්න කිව්වොත්, නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපි අයින් වෙනවා කියලා ට්‍රම්ප් ජනාධිපති කිව්වොත්, මොකද අනුර දිසානායක කරන්නේ? චීනය කිව්වොත්, වහාම අපේ ණය ගෙවන්න කියලා. අපි දැන් ණය වාරික ගෙවන්නේ නැතුව, ණය ප්‍රතිව්‍යුහගත කරලා තියෙන්නේ මොකද අනුර දිසානායක මහත්තයාට කියන්න පුළුවන් වෙන්නේ? ඒ නිසා මේ බල දේශපාලනයේ එක පැති පාර්ශව ගත යුතු නැහැ. ඒක මතක් කරන්න ඕනේ.”
ඩිජිටල් දත්ත හුවමාරුව සම්බන්ධයෙන් ද රණවක මහතා සිය කනස්සල්ල පළ කළ අතර, එය රටේ ස්වෛරීභාවයට සහ ජනතාවගේ අයිතීන්ට හානිකර විය හැකි බව ඔහු පැවසීය. මෙම ගිවිසුම් පිළිබඳ රජය විධිමත් ප්‍රකාශයක් සිදු කළ පසු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු මෙහි දී අවධාරණය කළේ ය.
“ඩිජිටල් දත්ත සම්බන්ධයෙන් වෙච්ච කාරණය එළි දරව් කරන්න ඕනෑ. මොකද රටේ මිනිසුන්ගේ දත්ත තමයි අද ලෝකයේ ධනය. ඒ දත්ත වෙනත් රටකට හෝ වෙනත් සමාගමකට හිමි වීම ලංකා ආණ්ඩුව තමන්ගේ ස්වෛරීභාවය, ජනතාවගේ අයිතිය, ජනතාවගේ පරමාධිපත්‍යයේ අයිතිය පාව දීමක්. ඉතින් අපි මේ ගිවිසුම් ගැන දන්නේ නැහැ. නමුත් කරලා නැති හින්දයි අපි දන් නැත්තේ. විධිමත් ප්‍රකාශයක් මේ ගිවිසුම් ගැන දැන ගත්තට පස්සේ අපි ඉදිරිපත් කරනවා දැනට මේ මූලධර්මාත්මකව. මේ කරපු වැඩේ වැරදියි.”
එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ නව ජනාධිපතිවරයාගේ වෙළඳ ප්‍රතිපත්ති හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල විය හැකි බවත්, ඒ සඳහා කඩිනම් පියවර ගත යුතු බවත් රණවක මහතා පෙන්වා දුන්නේ ය. ඉදිරි වසරේ දී ජී.එස්.පී ප්ලස් සහනය අහිමි වීමේ අවදානමක් ද පවතින බව ඔහු අනතුරු ඇඟවීය. ” ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයට මේක අනිවාර්යයෙන් ම බලපානවා. මොකද අපිට ට්‍රම්ප් ජනාධිපතිවරයා සීයට දහයක බද්දක් පොදුවේ හැමෝටම පැනෙව්වා. ව්‍යතිරේකයක් හැටියට අතිරේක බද්දක් 44% ක් පනවලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ වගේ ම වෙනත් දේවල් වලටත් බදු පනවලා තියෙනවා වාහන වලට, ඇලුමිනියම් වලට, යකඩ වලට ඒ ආදී වශයෙන්. ඉතින් අපේ අපනයන බිලියන් තුනක් ඇමරිකාවට යනවා. ඇඟලුම් යනවා. රබර් යනවා. අපේ පොල්කටු අඟුරු යනවා. පොල්කටු අඟුරු ඉතා ම විශේෂයි අපේ. ඇමරිකා එක්සත් ජනපදයේ. මම දැකලා තියෙනවා ජල පිරිපහදු කරන්න. අපේ අඟුරු තමා පාවිච්චි කරන්නේ. ඉතින් මේ කාරණාත් එක්ක අපට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. මොකද ඩොලරය පවා වටිනා අවස්ථාවක අපි ඉන්නේ.
ඒ විතරක් නෙවෙයි ලබන 2027දී ජී එස් පී ප්ලස් සහනයත් යුරෝපා සංගමයෙන් අපට අහිමි වෙන්න නියමිතයි. අලුත් ක්‍රමවේදයක් යුරෝපය හඳුන්වලා දෙනවා. ඒ වගේ ම යුරෝපයත් මේ වෙළඳ යුද්ධයට මැදිහත් වුනාට පස්සේ යුරෝපයේ ඉල්ලුම අඩු වෙන්නත් පුළුවන්. ට්‍රම්ප් ජනාධිපති මේක කරන බව පසුගිය නොවැම්බර් හතර වෙනිදා එතුමා බලයට පත්වෙච්ච දවසේ ඉඳන් ම රට දන්නවා. ඉතින් ජනාධිපති ආවේ සැප්තැම්බර් විසි එක. දුර දක්නා නුවණක් තිබුණා නං මේකට සූදානම් වීම සඳහා වියට්නාමය, ඉන්දියාව, චීනය ගත්තා වගේ පියවර ගත යුතු ව තිබුණා. දැන් මේ ආර්ථික බෝම්බය පිපිරුණාට පස්සේ තමයි දැන් හොයන්නේ මොනවා ද උපාමං කියලා. මේක මේ ආණ්ඩුවට ආවේණික ලක්ෂණයක්. කොහොම වුණත් ඒකෙන් බැට කන්නේ රට. තුන්ලක්ෂ හැට දෙදාහක් අපේ ගාමන්ට් වල, ඇපරල් කර්මාන්තයේ අපේ රැකියාවල නියැලෙන අපේ දුප්පත් දූ දරුවෝ. නිදහස් වෙළඳ කලාපවල මේ හැම තැනකම යුරෝපයේත්, ඇමරිකාවේත් අපට තියෙන ඒ ප්‍රමාණය අහිමි වුනොත් විශාල ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන්.
රණවක මහතා වැඩිදුරටත් සඳහන් කළේ, වත්මන් ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණය පිළිබඳව තමාට කිසිදු විශ්වාසයක් නොමැති බවත්, මේ සම්බන්ධයෙන් විදේශීය විශේෂඥයින්ගේ සහාය ලබාගත යුතු බවත්ය. ඇමරිකා එක්සත් ජනපදය සමඟ පවතින වෙළඳ ගැටලු සාකච්ඡා කිරීම සඳහා සුදුසු නියෝජිත පිරිසක් කඩිනමින් එරටට යැවිය යුතු බවද ඔහු අවධාරණය කළේය.
“අද බීබීසීය වාර්තා කළා. ලෑන්ඩ් රෝවර් ජගුවර් කම්පැනිය ඇමරිකාවට යන වාහන නතර කිරීම නිසා. දහදාහකට මේ වෙන කොට එංගලන්තයේ රැකියා අහිමි වෙලා තියෙනවා. මිනිස්සු පාරට බැහැලා තියෙනවා. ඉතින් ඒක හින්දා මේ ලංකාවෙත් මේ ව්‍යසනය ඇති වෙයි. අපිට නෑ. අර වියට්නාමය, චීනය, ඉන්දියාව කළා වගේ අඩුම තරමින් මේ සම්බන්ධයෙන් මුහුණ දෙන්න. මම හිතන්නේ නැහැ මේ ආණ්ඩුවේ කර්මාන්ත ඇමතිට කිසිම දැනුමක් තියෙනවා කියලා මේ ප්‍රශ්නය සම්බන්ධයෙන්. ආණ්ඩුව අර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක කටයුතු කළා වගේ විශේෂඥයෝ. විදේශීය විශේෂඥයෝ හරි මේ සම්බන්ධයෙන් ගෙනෙල්ලා අර අයි එම් එෆ් එකේ ලසාඩ්ලව ගෙන්නුවා වගේ විදේශ විශේෂඥයෝ හරි ගෙන්නලා මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න ඕනේ. මොකද ආණ්ඩුවේ ආර්ථික භාර ඇමතිවරුන්ටත්, ජනාධිපතිටත්, අගමැතිතුමියටත් කර්මාන්ත ඇමතිටත් කිසිම දැනුමක් මේ සම්බන්ධයෙන් නැති බව පෙන්නලා ඉවරයි. ඒ නිසා අඩු ගානේ මේ රටේ ජනතාව වෙනුවෙන් මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා විදේශීය විශේෂඥයෝ පිරිසක් හරි හරියට තෝර ගෙන ටෙන්ඩර් කැඳවලා මේ සාකච්ඡා වලට එක්සත් ජනපදයට යවන්න. මොකද ට්‍රම්ප් ජනාධිපති අනිවාර්යයෙන් ම මේවා සාකච්ඡා කිරීම සඳහා කටයුතු කරනවා.”.
2025 අප්‍රේල් 20, පෙ.ව. 12:31
2025 අප්‍රේල් 20, පෙ.ව. 12:30
2025 අප්‍රේල් 20, පෙ.ව. 12:26
2025 අප්‍රේල් 20, පෙ.ව. 12:21
2025 අප්‍රේල් 20, පෙ.ව. 12:17
02-04-25
02-04-25
30-03-25
30-03-25
23-03-25
23-03-25
11-03-25
11-03-25
10-03-25
10-03-25
08-02-25
08-02-25
13-12-24
13-12-24
04-12-24
04-12-24
05-10-24
05-10-24
03-10-24
03-10-24
01-10-24
01-10-24
09-08-23
09-08-23