hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 මාර්තු 06, පෙ.ව. 6:34



පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨයේ 2017 වසරේ කණ්ඩායමේ තෙවන වසරේ ඉගනුම ලබමින් සිටියදී විභාගයකට ලකුණු 34 ක අඩුවීමක් නිසා පේරාදෙණිය සරසවියේ විනෝදි ද සිල්වා ජීවිතය හානි කරගෙන ඇති බවට ප්‍රවෘත්ති පළ වුණා.

එහෙත් ඇය මිය යෑමට හේතුව විදිහට ප්‍රචාරය වෙන පුවත් සත්‍ය නොවන බව ඇයගේ පවුලේ ඥාතීන් ගේ අදහසයි.

මාස හතරක නිවාඩුවක් අවසානයේ ඇය පසුගිය දිනක සරසවියට ගොස් ඇත්තේ ඉංජිනේරුවරියක වීමේ සිහිනය සැබෑ කර ගැනීමට ඇති පුහුණුවට ලියාපදිංචි වීම සඳහායි.

ඒ සඳහා ඇය අයදුම් කර තිබුණ ද ඊට පාලන අධිකාරියෙන් අවසර නොලැබීම පිළිබඳව ඇගේ මව සහ පියා සමඟ නිතර කතාබහ කර තිබෙනවා.

මාස 4 ක කාලයක් ඇය ආතතිය සඳහා මනෝ උපදේශනයට සරසවිය තුළදීම යොමු කිරීමෙන් පසු ඇය ඖෂධ ප්‍රතිකාරයට යොමු කර තිබෙනවා.

එම ප්‍රතිකාරවලින් පසුව නැවත සරසවියට ගිය ඇයට නැවත ඇගේ ලියාපදිංචි සිදු කර ගැනීමට නොහැකි වූවා යැයි ඇගේ පියා වන ඇන්තනී ඇලෙක්සැන්ඩර් ද සිල්වා පුවත්පතකට පවසා තිබෙනවා.

“දුව එදා කැම්පස් එකට ගිහින් මට කතා කළා. තාත්තේ අදත් වැඩේ කරගන්න බැරි වුණා කියලා කිව්වා. මං ඇහුවා පුතේ මං ඇවිත් හම්බෙන්න ද කියලා.ඒත් එයා කිව්වේ තාත්තා ඔයාට ඇවිත් කරන්න පුළුවන් දෙයක් නැහැ. ඒ නිසා එන්න එපා කියලා. මේ කාරණාව හින්දා දුවට තව ලොකු කාලයක් බලාගෙන ඉන්න වෙන එක ගැන එයා හිතන්න ඇති. අපි කාගෙවත් ගෙදරක මේ ජීවත් වෙන්නේ. අපිට ඉඩමක් ගෙයක් නැති එක ගැටලුවක්. ඒත් ඒක දුවගේ මරණෙට බලපෑවේ නෑ. මොකද එයා ගොඩක් පල්ලියත් එක්ක එකතු වෙලා කටයුතු කළා. පල්ලියෙන් අපිට ලොකු සහයෝගයක් ලැබුණා. රිදීගම මහා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා 5 වසර ශිෂ්‍යත්ව විභාගය ඉහළින් සමත්ව කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයෙන් ඇය ද්විතීක අධ්‍යාපනය ලැබුවා. මලියදේව බාලිකා විද්‍යාලයේ කීර්තිමත් ශිෂ්‍යාවක වන ඇය විද්‍යාලීය බාලදක්ෂිකාවක් ලෙස පුහුණුව ලද ශිෂ්‍යාවක්.”

ජීවිතයේ ගැටලු සියල්ල ම සමබර ව මුහුණ දෙමින් පල්ලියේ තරුණ සංගමයේ කීර්තිමත් තරුණ නායිකාවක් බව අසෙම්බ්ලි ඔෆ් ගෝඩ් දේවස්ථානයේ පාස්ටර් ජොසුවා පාවුල් පියතුමා මෙලෙස සඳහන් කළා.

“මේ දුව පුංචි කාලේ ඉඳන්ම පල්ලිය ඇසුරේ හැදුණු වැඩුණු කෙනෙක්. හොඳින් පොතපත කියෙව්වා. අපේ පල්ලියේ පුස්තකාලයේ තියෙන සියලු ම පොත්පත් ඇය කියවා අවසන් කළ කෙනෙක්. පුංචි කතන්දර පොතේ ඉඳන් පොත් තුන්සියයකට වඩා කියවා අවසන් කළා. මම පුද්ගලිකව පරිහරණය කරන ඉංග්‍රීසි පොත් පවා ඇය කියවන්නට අරගෙනයි තිබුණේ. මේ වෙද්දිත් ඇගේ නිවසේ මා සතු පොත් විස්සක් තිබෙනවා. ඇය අනිකුත් දරුවන් එක්ක ගත්තාම හොඳට චිත්‍ර අඳින්න පුළුවන්. විවිධ නිර්මාණ කරන්නත් හැකියාව තිබෙනවා.ඒ වගේම මොකක් හරි ගැටලුවක් තිබෙනවා නම් ඇය මා සමඟ කතා කරනවා.

මොකද ඇය සරසවිය තුළ දී යම්කිසි ආගමික සංවිධානයකට සම්බන්ධ වෙලා සිටියා. ඒකෙදි යම් ගැටලුවක් මතු වුණත් ඇය ඒවා මා සමඟ කතාබහ කර නිරාකරණය කර ගත්තා. නමුත් ඇය මනෝ උපදේශන ක්‍රියාවලියට සරසවිය මඟින්ම යොමු කරලා යම් ඖෂධ ප්‍රතිකාර ලබමින් ඉඳලා තිබෙනවා. ඒ ගැන මට කියල තිබුණෙ නැහැ. ඇය ඒ බව කියලා තිබුණා නම් ඖෂධ පිළිබඳ මට සාමාන්‍ය දැනුමක් තියෙන නිසා ඒ ගැන හොයලා බලන්න තිබුණා. ඒත් ඒ දුවගේ අම්මා කිව්ව විදිහට ඒ ඖෂධ ප්‍රතිකාර ලබා ගත් දවසට ඇගේ සාමාන්‍ය කටයුතු සාමාන්‍ය පරිදි සිදු වුණාලු. සමහරවිට විශ්වවිද්‍යාලයේ දී ඇයට පැන නැඟුණා කියන ගැටලුව නිසා ඇය වැඩි සැනසීමක් බලාපොරොත්තුවෙන් වැඩි මාත්‍රාවක් ගත්ත ද දන්නේ නැහැ. ඒ කොහොම වුණත් ඇයට මෙවැන්නක් සිදු වුණේ ඇයි කියලා ගැටලුවක් තිබෙනවා. එහෙම ජීවිතය අකාලයේ නැති වුණාම පල්ලියෙ සහයෝගය දීම පිළිබඳ යම් ගැටලු තිබෙනවා. ඒත් මං ඒ ගැන නොසලකා ඇගේ දේහය පල්ලියේ තබා ගන්න අවස්ථාව සලසා දුන්නා.”

අකාලේ මියගිය තම දියණිය දෙව් තුරුලට ගියා යැයි සිත සනසා ගත් වින්ද්‍යානි දියණියගේ මව අනුලා ද සිල්වා පල්ලියේ පෙර පාසලේ ගුරුවරියක ලෙස 2022 වර්ෂය අවසාන ප්‍රසංගයට සුදානම් කළ දේවස්ථානයේ පොළවේ තම දියණියගේ දේහය තැබීම පිළිබඳ සතුටින් සිටින්නී.

“අද ගොඩක් මාධ්‍යවල පළ වෙන්නේ මේ වගේ දේවල් මත්ද්‍රව්‍ය විකුණන මිනී මරණ පිරිස් අත්අඩංගුවට ගත්තා කියන ඒවා විතරයි. අපි දකින්නේ ඒවට දඬුවම් දුන්නා කියා අප මාධ්‍යයේ දැකලා නැහැ. ඒත් අපේ දරුවට වෙච්ච දේ බොරු සිද්ධිත් මාධ්‍ය වල පළ වුණා. මම පෙර පාසලේ වර්ෂ අවසාන උත්සවයට ශාලාව සරසා තිබුණා. ඒ ශාලාවේ ඉතාමත් ලස්සනට මංගල්‍ය සිදු කළා. එම නිසා මට කියන්න තියෙන්නෙ අද පව්කාරයෝ ගොඩක් වැරදි කරමින් ජීවත් වෙනවා.ඒ අයත් දෙව් තුරුලට යන්න නම් දෙවියන් වහන්සේගේ ආශිර්වාද ගත යුතුයි කියලයි. දුව විශ්වවිද්‍යාලයෙදි ලැබූ අමිහිරි අත්දැකීම නවක වදයයි. නවක වදයෙන් පසුව නම් ගොඩක් ළමයි මානසිකව වැටෙනවා. ඒත් දුව එකෙන්වත් වැටුණු කෙනෙක් නෙවෙයි. ඉංජිනේරු සිහිනය බොඳ කළ අයට දෙවියන් වහන්සේගෙන් දඬුවම ලැබේවි.”

රිදීගම වරක වැහැර ප්‍රදේශයේ වසර විසි ගණනක් පදිංචිව සිටි ඇය ඇතුළු පවුලේ සැම දැඩි කිතුනු භක්තිකයෝ ලෙස පල්ලියත් සමඟ කටයුතු කරයි.

ඉතාමත් සාමකාමී ජීවන රටාවක් ගෙවන ඇගේ පියා විවිධ පෞද්ගලික ආයතනයන්හි ආරක්ෂක අංශයේ සේවය කර මේ වන විට ලැබෙන රැකියාවක් කරමින් සිටිනවා.

මෙවර අපොස උසස් පෙළ විභාගයට ඉදිරිපත්ව නිවසේ ඇගේ නැඟණිය සමඟ ඉතාමත් සහයෝගයෙන් කටයුතු කළ වින්ධ්‍යාගේ සමුගැනීම ඇයට මහත් කනස්සල්ලක් ගෙන දෙන කාරණාවක් වුණා.

සිද්ධිය සැලවූ දින සිට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය සිසු සිසුවියන් සහ ඇය ඉගෙන ගත් මලියදේව බාලිකාවේ බාලිකාවන් රැසක් ඇයගේ දේහයට අවසන් බුහුමන් දැක්වීමට රිදිගම දේහය තැන්පත් කළ දේවස්ථානයට පැමිණියා.