hit counter

2024 දෙසැම්‍බර් මස 26 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 01, ප.ව. 1:04



“පාලම යට බෝට්ටුවක් උඩ වාඩිවෙලා දවල් කෑම කමින් ඉන්න කොට අම්මේ, අම්මේ කියන පුංචි දරුවකුගේ හඬ ඇහුණා. ගඟ දිහා බලන කොට කාන්තාවක් ගිලෙනවා දැක්කා. කෑම පැත්තකට දාලා මම ගඟට පැනලා ඇය ගොඩට ගෙනාවා” යැයි බෙන්තර ගං දියේ ගිලෙමින් සිටි කාන්තාවක බේරා ගොඩට ගෙන ආ චතුරංග සඳරුවන් පැවසුවා.

පසුගිය 26දා පස්වරුවේ මාස 18ක් වයසැති සිඟිති දියණියක සහ නව හැවිරිදි පුතු පාලම මත තබා බෙන්තර ගඟට පැන දිවි නසා ගැනීමට උත්සාහ කළ 33 හැවිරිදි මවගේ දිවි ගලවා ගැනීමට හේ සමත් වුණා.

නැවත හඬ අවදි කළ ඔහු සඳහන් කළේ තමන් පිහිනා ඇය ළඟට යන විට රළ පහරට හසුව ඇය දිය යට නොපෙනී ගිය බවත්, එක වරම නැවත උඩට එන විට අතින් අල්ලාගෙන ගොඩට පිහිනා ආ බවයි.

බළන්ගොඩ පදිංචි මෙම කාන්තාව ඌරගස්මංහන්දිය පදිංචි අයකු සමඟ විවාහ වී සිට ඇතැයි පොලිසිය පවසනවා.

අඹුසැමි අතර නිතර නිතර ආරවුල් පැවැත ඇති බවත් බළන්ගොඩ අධිකරණයේ දික්කසාද නඩුවක් පවතින බවත් පොලිසිය සඳහන් කරනවා.

දෙදෙනාට සාමයෙන් සිටින ලෙස අධිකරණය ලබාදී ඇති උපදෙස් පරිදි ඇය දරු දෙදෙනා සමඟ ඌරගස්මංහන්දියට යෑමට පැමිණ ඇති අතර ස්වාමිපුරුෂයා එයට විරෝධය පෑම හේතුවෙන් කම්පා වී ඇය දරු දෙදෙනා පාලම අසල පදික වේදිකාව මත තබා අලුත්ගම දෙස සිට ගාල්ල දෙසට ඇති පළමු පාලමේ වම්පසින් අඩි 40ක් පමණ උසක සිට ජලයට පැන ඇතැයිද පොලිසිය සඳහන් කළා.

චතුරංග සඳරුවන් විසින් ජලයෙන් ගොඩට ගත් ඇය 1990 සුවසැරියෙන් බෙන්තර ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් බළපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඇයගේ තත්ත්වය තරමක් බරපතළ බැවින් කරාපිටිය ශික්‍ෂණ රෝහලට මාරු කිරීමට නියමිත බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසුවා.

“පුතේ මම ගඟට පැන්නට පස්සේ ඔයා නංගිවත් අරගෙන ගඟට පනින්න” යැයි අම්මා කියූ බව නව හැවිරිදි දරුවා සඳහන් කර ඇතැයිද පැවැසෙනවා.

දිවි නසා ගැනීමට උත්සාහ කළ කාන්තාවගේ සීයා සහ සොහොයුරකු පසුදින අලුත්ගම පොලිසියට පැමිණ ඇති නමුත් පවතින ආර්ථික අපහසුතාව හේතුවෙන් දරු දෙදෙනා භාර ගැනීම ඔවුන් ප්‍රතික්ෂේප කර ඇතැයිද සඳහන් වෙනවා.

දරු දෙදෙනා කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට ලැබෙන උපදෙස් පරිදි ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව පොලිසිය සඳහන් කරනවා.

අලුත්ගම ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඒ.එම්. ප්‍රියන්ක කුමාර, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක නිරෝෂනීගේ ප්‍රධානත්වයෙන් පරීක්‍ෂණ පැවැත්වෙනවා.