hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 25, ප.ව. 3:37



හෝමාගම නගරයේ පවත්වාගෙන යනු ලබන පෞද්ගලික ආයතනයකට අයත් උද්‍යානයක ආවරණය කළ කුඩා ප්‍රමාණයේ කාමර තුළ බාලවයස්කාර දරුවන් අශෝභන ලෙස හැසිරෙන බවට පැමිණිල්ලක් ලැබුණු බවට හෝමාගම මුලස්ථාන පොලිසිය පවසනවා.

ඒ අනුව ඊයේ (24) දින හෝමාගම මුලස්ථාන පොලිසිය විසින් එම ස්ථානය වටලා තිබෙනවා.

තම දරුවන් සමග අදාළ උද්‍යානයට යාමේදී, පාසල් වයසේ දරුවන්, ආවරණය කළ කුඩා කාමර තුළ නොහොබිනා අයුරින් හැසිරෙන අතර ඒ සඳහා කඩිනමින් පියවරක් ගන්නා ලෙසට දැනුම්දෙමින් ප්‍රදේශයේ දෙමාපියන් සහ ආගමික නායකයින් විසින් පැමිණිලි ඉදිරිපත් කළ බවයි පොලිසිය පැවසුවේ.

ඒ අනුව හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ලබාගත් සෝදිසි කිරීමේ නියෝගයක් අනුව එම වැටලීම සිදුකර තිබුණා.

එම අවස්ථාවේ දී අශෝභන ලෙස හැසිරෙමින් කාමර තුළ සිටි තරුණ ජෝඩු 24ක් පමණ පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පසුව එම දරුවන් සියලුදෙනා කැඳවා කරුණු පැහැදිලි කර උපදෙස් ලබාදීමෙන් අනතුරුව ඔවුන්ගේ භාරකරුවන් වෙත දුරකතන ඇමතුම් ලබාදී මුදාහැරීමටයි පොලිසිය කටයුතු කර ඇත්තේ.

එම ස්ථානයේ සිටි බොහෝ දරුවන් උපකාරක පන්තිවලට සහභාගි වන බව පවසමින් එහි පැමිණ ඇති බව අනාවරණ වී තිබෙනවා.

එම උද්‍යානයේ හිමිකරු වැටලීම සිදුකළ අවස්ථාවේදී පැමිණ ඇති අතර පොලිස් නිලධාරීන් සමග උණුසුම් කතාබහක් ඇතිවීම හේතුවෙන් කලබලකාරී තත්ත්වයක් ද ඇති වූ බවයි වාර්තාවන්නේ.

වැටලීමේ තැනින් තැන තමන්ගේ ජංගම දුරකතනයෙන් ඒ මහා පරිමාණ වැරදිකාරයන්ව වීඩියෝගත කරන්නත් ඒ උත්තමයෝ කටයුතු කරලා තිබුණා.

සත්‍ය වශයෙන්ම මේ ඛේදජනක සිදුවීම මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි විවේචනයට ලක්වනවා. 

තරු ගහගෙන සිටි පොලිස් නිලධාරියා සහ එම ස්ථානයේ හිමිකරු අතර ඇති වුණේ මෙවැනි සංවාදයක්. කියා සිටියේ

මේ දරුවෝ යම් කිසි විධියකින් අනාථ වුණොත් ඒකට වග කියන්න ඔිනි මම…’

කොල්ලො කෙල්ලො ලව් කරනවා නම් මොනාද කරන්න බැරි?’

‘ලව් කරනවා නම් ශිප් එක පහත් කරන්නෙ ඇයි?’

‘ඇයි බැරි?’

‘ලව් කරනවායි ශිප් එක පහත් කරනවයි කියන්නෙ දෙකක් මහත්තයෝ…’

‘ඒ කොහොමද දෙකක් වෙන්නෙ?’

මේ සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ පළවන සටහන් අතරින් කිහිපයක් පහතින් බලන්න.

ඡායාරූප සමාජ මාධ්‍ය

මේ ඒ ගැන පළ වූ ෆේස්බුක් සටහනක්.

‘මේ මොහොතේ ලංකාවේ තරුණ කෙනෙක් වෙලා ඉන්න එක මොන තරම් කාලකණ්ණි දෙයක් ද කියලා විස්තර කරන්න උදාහරණයක් ඕනෙ නම් මේ සිද්ධිය පෙන්නන්න.

මේ පොලීසියේ මහත්වරු බොහොම ආඩම්බරෙන් ගිහිල්ලා “වටලන්නේ” තරුණ තරුණියන් ආදරය කරන්න යන තැනක් – එතන්ට ගිහින් ඔක්කොමලව “කුටි”වලින් එළියට ගන්නේ මහා වීරක්‍රියාවක් වගේ. ඊට පස්සේ ගෙවල්වලට මොනවා කියල ද ආවේ අහලා ගෙදරට කෝල් එකක් ගන්න කියනවා.

මේ සිද්ධිය ගැන ලියන්න කොහෙන් පටන්ගන්න ද කියලා හිතාගන්න බැරි තරමට ම මේක අවුල් ජාලයක්.

1. මේ නිලාධාරි මහත්වරුන්ට අනුව මෙතන ඉන්නේ ඔක්කොම “ඉස්කෝලෙ යන වයසේ ළමයි” – ඒ නිගමනයට මෙයාලා එන්නේ කොහොම ද කියලා විස්තර මෙතන නැති වුණත්, අවුරුදු 16ට වැඩි නම් තමන්ගේ ශරීරය ගැන තීරණ ගන්න එයාලට කිසිම බාධාවක් නැහැ. ඊට වඩා වයසින් අඩු අය මෙතන ඉන්නවා නම් හැඳුනුම්පතක් බලලා අයින් වෙන්න කියනවා මිසක් අත්අඩංගුවට ගන්න වැරැද්දක් මේ අනික් අය කරලා නැහැ.

2. බලෙන් එළියට ඇදන් ඇවිත් “මොනවා කියල ද ගෙදරින් ආවේ” කියලා අහන එකෙන් ම තේරෙනවා ලංකාවේ පවුල් සංස්ථා ඇතුළේ තරුණ තරුණියන්ට ආදරය කරන්න දීලා තියෙන නිදහසේ දිග පළල. මේ පොලිසියෙ මහත්තයා බය නැතුව එහෙම අහන්නෙ ම “ගෙදරින් දැනගත්ත ම උඹලට හොඳට හම්බෙයි” කියලා දන්න නිසා. එහෙම කියන එකෙන් ම තමන්ගේ බලය අනිසි විදිහට පාවිච්චි කරන ගමන් තව වැඩිහිටියොත් (මේ අයගෙ දෙමාපියන්) මේකට හවුල් කරගෙන, මහා අපරාධයක් කරා වගේ බැනුම් අස්සවන්න – සමහරවිට ඊට වඩා දරුණු දඬුවම් ලැබෙන්න – ලැබෙන එක ගැන එයාට කුරිරු සතුටක් ලැබෙනවා.

3. සමහරවිට නීතියෙනුත් වැඩිහිටියන් විදිහට සැලකෙන අවුරුදු 18ට වැඩි තරුණ තරුණියන් මෙතන ඇති. එහෙව් වැඩිහිටියන් කළ නොකළ යුතු දේවල් ගැන – ඒ වයසෙ ම ළමයිනුත් සමහරවිට ඉන්න – තව වැඩිහිටියෝ ටිකක් ඇවිත් තීරණය කරනවා. කොහොමටත් ලංකාව ඇතුළේ අවුරුදු 30ක් වුණත් “ළමයි” කියලා වැඩිහිටියන්ට සලකන නිසා මේ 16-18 අය ඉතින් මෙයාලට අනුව කොහොමත් ළමයි තමයි. නිල ඇඳුමින්, රාජකාරියෙන් ලැබෙන බලය අනිසි විදිහට පාවිච්චි කරලා මහා අපරාධයක් විසඳුවා වගේ ඔක්කොමලව කුදලගෙන පොලිසියට අරන් යන්නේ මොන නීතියක් යටතෙ ද?

4. මෙතන ඉන්න එක මහත්මයෙක් අහනවා ආදරය කරද්දි ඇඳුම් ගලවන් ඉන්න එකේ වරද මොකක් ද කියලා – ඒකට පොලිසීයට බොහොම කේන්ති යනවා. ඒ පොලිසියෙ මහත්තුරුන්ට අනුව “ලව් කිරීමේ” නිර්වචනය මොකක් වුණත් වයසට හරියන ලි*ගික අධ්‍යාපනයක් නොලැබෙන රටක මෙහෙම වෙන එක පුදුමක් නෙමෙයි ඉතින්. මෙතන ඉන්න අයගෙ ගෙවල්වලිනුත් මේක තේරුම් අරන් තරුණ තරුණියන්ගේ පැත්ත ගනීවි කියලා හිතන්න අමාරුයි.

5. මේ වටලන තැන බැලු බැල්මට සම්පූර්ණයෙන් වැහිච්ච තැනක් නෙමෙයි. එහෙම තැනක තරුණ යුවලකට ආදරය කරන්න බැරි ද? මෙයාලට අනුව නම් බෑ. එතකොට මුහුද අයිනේ? ඒත් බෑ; පාර්ක් එකක? එතනත් බෑ; බස් එකක, කෝච්චියකත් බෑ; එහෙනම් රූම් එකකට ගියොත් – ඒත් බෑ. මේ එකක්වත් නීති විරෝධී නෙමෙයි අපි හදාගත්ත පුහු සංස්කෘතියට විරුද්ධ යි, ඒක යි මෙච්චර උජාරුවෙන් ඇවිත් අල්ලන් යන්න හදන්නේ.

මේ තරම් පොලිසියෙ කට්ටියක් එක් කරගෙන ආවේ ගහලා හරි එක්කන් යන්න ද? තමුන් නොවිඳපු සතුටක් තමන්ගේ ළමයින්ගේ වයසේ කෙනෙක් විඳිනවා දකින්න තියෙන අකමැත්ත ද? එහෙම නැත්තම් මහා අපාරාධයකින් මේ “ළමයින්ව” මුදවා ගැනීමේ සමාජ සේවය කරන්න ද?

මේකෙ මුල් පෝස්ට් එකේ මේ පොලිස් නිලධාරීන්ට සුබ පතලා තිබුණා හොඳ වැඩක් කරලා තියෙන්නේ කියලා – වැඩිපුර ම තිබුණේ හිනා වෙන reactions. මේ හිනා වෙන්නේ සුබ පතන්නේ තව කෙනෙක් මෙහෙම අහේතුකව අපහසුතාවට පත්කරවෙච්ච එක ගැන දැනන කුහක සතුටක් ලබන තවත් වැඩිහිටියෝ පිරිසක්. කොටින් ම මේ සිද්ධි ඔක්කොම ඇතුළේ පේන්නේ වෙන මොකක්වත් නෙමෙයි – ලංකාවේ මිනිස්සුන්ට අඩුවක් නැතු ව තියෙන ලි*ගික කුහකත්වය!’ 

මේ වන විට පෙම් සබඳතාවයක් සඳහා අනුමැතිය ලබා ගැනීම සඳහා වන ලිපියකුත් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් පවතිනවා.

‘ලංකාවෙ කිසි මාධ්‍යවේදියෙක්, යූටියුබ්කාරයෙක් නැද්ද අර පොලිසියෙ ලොක්කව ඉන්ටවිව් කරන්න? ලව් කරන්න පොලිසියෙන් අවසර ගන්න අවශ්‍ය නීතිය ගැන ජනතාව දැනුවත් කරන්න. ඔය ෆෝර්ම් එක අපි හැමෝම පුරවලා පලාතෙ පොලිසියට බාර දෙන්න එපැයි.’ 

පොලිසියේ පැත්ත ගෙන සිද්ධිය සාධාරණීකරණය කරන පිරිස් ද මේ අතර නැතුවාම නොවේ.

කවුරුන් කොහොම සාධාරණීකරනය කරන්නට යෙදුණත් සත්‍ය වශයෙන්ම පෙම්වතුන් අමු අමුවේ මාධ්‍ය හරහා නිරුවස්තර කරනවා වෙනුවට වෙන යමක් කළ යුතු ව තිබුණා නොවේද?

යුවළක් සිපවැළඳ ගැනීමත් මහා පරිමාණ වරදක් ලෙස දකින නීතියේ මහත්වරු මේ පුංචි උන් දැනුවත් කරන්න හෝ අඩුම ගණනේ යමක් කළා නම් කොපමණක් අගනේද?





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: